ආධාර බෙදා හැරීම සඳහා ගාසා වෙරළ තීරයට තාවකාලික වරායක්

ආධාර බෙදා හැරීම සඳහා ගාසා වෙරළ තීරයට තාවකාලික වරායක්

එක්සත් ජනපද හමුදාව විසින් ගාසා තීරයේ මානුෂීය ආධාර මුහුදු මාර්ගයෙන් ප්‍රදේශයට ලබා ගැනීම සඳහා වරායක් ඉදිකරන බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනවා.

මෙම තාවකාලික වරාය මගින් පලස්තීනුවන්ට ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය දිනකට අතිරේක ට්‍රක් රථ සිය ගණනකින් වැඩි කිරීමට හැකිවන බවයි නිලධාරීන් සඳහන් කරන්නේ.

පලස්තීනයේ ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ(07) මෙම තාවකාලික වරාය ගැන නිල නිවේදනය නිකුත් කළා.

එක්සත් ජනපද හමුදාව විසින් ඉදිකරනු ලබන මෙම වරාය මුහුදේ නැව්වලින් වෙරළට සැපයුම් ප්‍රවාහනය කිරීම සඳහා තාවකාලික තොටුපළක් සම්බන්ධ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් තොටුපළ ගොඩනඟන්නේ කවුරුන්ද යන්න හෝ ගොඩබිම ආධාර ලබා ගන්නේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව දැනුම් දී නැහැ.

වරාය පිහිටුවීමට සති ගණනාවක් ගතවනු ඇති අතර මේ සඳහා ආහාර, ජලය, ඖෂධ සහ තාවකාලික නවාතැන් ගෙන යන විශාල නැව් ලබා ගැනීමට හැකි වන බවයි නිලධාරීන් පවසන්නේ.

Share This