ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී  නිවැරදිව දත්ත ඉතා වැදගත් – ජනපති මාතලේදී අවධාරණය කරයි

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදිව දත්ත ඉතා වැදගත් – ජනපති මාතලේදී අවධාරණය කරයි

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී සහ සැලසුම් සකස් කිරීමේ දී සහ සැලසුම් සකස් කිරීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත් එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ අදහස් පළ කළේ මාතලේ ජන ජීවිතය යලි ගොඩ නැගීම පිළිබඳව ඊයේ (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 ට පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

එම වන්දි මුදල් එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබාදීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන්කර හඳුනා ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා නිදසුනක් ලෙස පෙන්වා දුන්නේ මීට පෙර රටේ සහල් අතිරික්තයක් ඇති බවට අදාල ආයතන දත්ත ඉදිරිපත් කළ ද පසුව සහල් හිගයකට මුහුණ දීමට සිදු වූ අන්දම සඳහන් කළා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 5501 ක පුද්ගලයන් 11, 804 ක් ආපදාවට ලක්ව සිටින බව එහිදී අනාවරණය වුණා.

දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිතතා මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 4113 ක් මේ වනවිට රැඳී සිටින බවත් එහිදී සඳහන් වුණා.

මාතලේ දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 119 ක් වාර්තා වන අතර අර්ධ හානි සිදු වූ නිවාස ගණන 2618 ක්.

දිස්ත්‍රික්කයේ මහා මාර්ග,විදුලිය,ජල සැපයුම, සන්නිවේදන සහ වාරි මාර්ග ප්‍රති සංස්කරණ සහ ආපදා වෙන් බලපෑමට ලක් වූ වගා බිම් සහ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත යලි ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් හි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා.

ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16 ක් කැඩී ගොස් ඇති බවත්, එයින් මාර්ග 12 ක් පිළිසකර කර ජනතාවට විවෘත කර ඇති බවත් මාර්ග සංවර්ධන නිලධාරීන් සඳහන් කළා.

වත්තේගම – කන්දේගෙදර , උකුවෙල – ඇල්කඩුව, මොරගහකන්ද – වැල්ලවල, රත්තොට – ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ග ද කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කළා.

එමෙන්ම පළාත් මාර්ග 38 කට දැඩි හානි සිදුව ඇති බවත් 17 කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් වුණා.

නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ ඒ අතරින් මාර්ග 19 ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත් මාර්ග 19 ක කොටසක් පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බවයි.

ආපදාවට ලක් වීමෙන් දිස්ත්‍රික්කයේ විදුලි පද්ධති 58 ක් බිඳ වැටී අති අතර ඒවා කඩිනමින් යථාතත්ත්වයට පත් කර සියයට 92 කට පමණ විදුලිය ලබා දීමට මේවන විට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

ප්‍රවේශ මාර්ග අවහිරවීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල,උකුවෙල, යටවත්ත,පැල්ලේපොළ , මාතලේ ආදී ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පැවසුවා.

දිස්ත්‍රික්කයේ ජල සැපයුම යථාවත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500 කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බවත් අනාවරණය වුණා.

මේ පිඋළ්ඊබඳව කඩිනමින් අවධානය යොමුකළ ජනාධිපතිවරයා අදාල සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් පවතින බාධාවන් ඉවත් කර එම ජනතාවට කඩිනමින් පානීය ජලය සැපයීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

ජලය හෝ සන්නිවේදනය ආදී ඕනෑම සැපයුමක් ජනතාවට සැපයීමේ දී තම තොරතුරු ප්‍රධාන කාර්යාලයට යවා නිහඬව සිටීමෙන් පලක් නොවන අතර ඊට අදාල ආයතන සමග නිතර සම්බන්ධ වෙමින් තම සේවාව ජනතාවට ලබාදීමට කැපවීම නිලධාරීන් ගේ වගකීමක් බවටත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

ආපදාවට ලක් වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති පිළිසකර කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරුණු අතර දඹුල්ල රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරමින් එය වඩා පහසුකම් සහිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව අවදානය යොමුකරමින් ඊට අවශ්‍ය විධිමත් සැකැස්මක් සහ ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නා.

දෙසැම්බර් 16 වන විට දිස්ත්‍රික්කයේ පාසල් හැකි පමණ විවෘත කි‍රීමට උත්සාහ ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ආපදාවට ලක් වූ පාසල්වල දරුවන් ආසන්න පාසල් වෙත යොමු කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසටත් අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

 

Share This