ආර්ථික මධ්‍යස්ථාන විකුණන බව කියා විපක්ෂනායක ආණ්ඩුවට දෙහිකපයි

ආර්ථික මධ්‍යස්ථාන විකුණන බව කියා විපක්ෂනායක ආණ්ඩුවට දෙහිකපයි

අද වන විට ගොවියාට කලට වේලාවට පොහොර නොලැබෙන අතර තමන්ගේ අස්වැන්නට නිසි මිලක් නොමැති බවත්, කෘෂි උපකරණවල මිල වැඩි වී ඇති මොහොතක ගොවියා සුරකිනවා කියන ආණ්ඩුව ආර්ථික මධ්‍යස්ථාන කුණු කොල්ලයට විකුණා කන පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද තඹුත්තේගමදී සමගි ජන බලවේගයේ කලාව ආසනයේ තලාව ප්‍රාදේශීය බලමණ්ඩලය අමතමින්.

එදා තෙල්, පොහොර දෙන බව පවසා ආඩම්බරකාර ජීවිතයක් ගත කරන්නට ගොවියාට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර වී වලට අණපනත් හරහා සහතික ස්ථාවර මිල නිත්‍යානුකූලව ලබා දෙන බවට වත්මන් ආණ්ඩුව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

ඔහු ප්‍රශ්න කළේ පරිසර හිතකාමී කියු ආණ්ඩුව යටතේ අලි කීයක් මැරෙනවද? ‍යනුවෙන්.

වත්මන් ආණ්ඩුවට වගා හානි, ජීවිත හානි, දේපල හානි වලට වැඩපිළිවෙළක් නොමැති බවත්, පරිසරවේදී කිව්වද අද වන විට ගොවියාත්, වන සතුනුත් විනාශ වන බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

ඔහු තවදුරටත් පවසන්නේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ යන්ත්‍ර අද වන විට ක්‍රියාවිරහිත බවයි.

ලංකාවේ ප්‍රධාන රෝහලේ පවතින මෙම ගැටලු පිළිසකර කළ නොහැකි ආණ්ඩුවට රටක් ඉදිරියට ගෙන යා නොහැකි යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ චෝදනාවයි.

 

Share This