එප්පාවල හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති 26 දක්වා රිමාන්ඩ්

එප්පාවල හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති 26 දක්වා රිමාන්ඩ්

අනුරාධපුරය එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම විදුහල්පතිවරයා හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත්තේ පසුගිය නොවැම්බර් මස 5 වනදායි.

එප්පාවල, නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගත්තා.

අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පසුව අනාවරණය වුණා.

එහිදී අනාවරණය වූයේ මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කළේය.

මේ අතර සැමියාට සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට හේතුවෙන් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

Share This