
දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නවදෙනා යළි රිමාන්ඩ්
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් 09 දෙනකු ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (9) නියෝග කළා.
මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබුවේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පිරිසක්.
සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක වෙත යවා අධිකරණයට වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා,දිනුෂ රුවන් කුමාර, වසන්ත පුෂ්ප කුමාර යන සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළේ සූම් තාක්ෂණය ඔස්සේයි.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බැවින් තවදුරටත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
බහු දින ධීවර යාත්‍රාවේ ජී.පී.එස්. යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත්, අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනි අවි දෙකක් රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටියා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි ඉහත වාර්තා කැඳවීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
