
ධීවරයින් තිදෙනෙකු අතුරුදන් ; ආරක්ෂක අනතුරු ඇඟවීම් දැඩිව පිළිපදින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලයි
මේ වනවිට ධීවරයින් තිදෙනකු අතුරුදන් බවට ධීවර දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.
ධීවර දෙපාර්තමේන්තුවා නිවේදනය කළේ පසුගිය 18 වන දින හලාවත ප්‍රදේශයෙන් එක්දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය OFRP-A-2925CHW යාත්‍රාවේ ගමන් කළ වර්ණකුලසුරිය නිහල් රංජන් පුනාන්දු සහ වර්ණකුලසුරිය ජුඩි ලක්ෂ්මන් පුනාන්දු යන ධීවර කාර්මිකයින් දෙදෙනා අතුරුදන් බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ගුවන් යානයක් යොදවා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ද, ඔවුන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.
මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් නාවික හමුදා යාත්‍රා යෙදවීමට නොහැකි වූ අතර, කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටීන බව ධීවර දෙපාර්තමෙන්තුව සදහන් කළා.
මේ අතර බේරුවල වරායෙන් පසුගිය 15 වන දින පිටත්ව ගිය “සුබ පැතුම්” (KLT 919) නම් ධීවර යාත්‍රාව, අයහපත් කාලගුණය හේතුවෙන් 19 වන දින ආපසු වරාය බලා පැමිණෙමින් තිබියදී, එස්. එම්. සිල්වා නම් ධීවර කාර්මිකයෙකු මුහුදට වැටී අතුරුදන් වී තිබෙනවා.
ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, මෙතෙක් සාර්ථක වී නැති බවයි ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර් 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කබා පැළඳීම නීතියෙන් අනිවාර්ය කර ඇති බවයි.
මීගමුව ප්‍රදේශයේ දී ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට පත් වූවද, එහි ගමන් කළ ධීවරයින් දෙදෙනා ජීවිතාරක්ෂක කබා නිසි ලෙස පැළඳ සිටීම නිසා පිහිනා ගොඩබිමට පැමිණ දිවි බේරාගෙන ඇති බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු පෙන්වා දෙනවා.