
පුද්ගලික රක්ෂණ සමාගමක් ගොඩදාන්න බොරු රස පරීක්ෂක වාර්තා හැදූ හිටපු රජයේ අතිරේක රස පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්
පුද්ගලික රක්ෂණ ආයතනයකට වාසි වන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කර රජයට අයුතු පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබු විශ්රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග .එස්.බෝදරගම මහතා අද(09) නියෝග කළා.
එහිදී මහේස්ත්රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ සිද්ධියට අදාල සැකකරුට බන්ධනාගාරය තුළ දී නිසි ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන ලෙසයි.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනි සිටි නිලධාරීන් වැඩිදුර බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.
අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාලව සාක්ෂිකරුවන්ගෙන් ප්රකාශ ලබා ගැනිමට තිබෙන බැවින් තවදුරටත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
තවද පුද්ගලික රක්ෂණ ආවරණයක් සම්බන්ධයෙන් ඇතිවී ඇති මෙම ප්රශ්නගත සිද්ධියට අදාළව එම ප්රතිලාභීන් අතර මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාළව සාක්ෂිකරුවන්ගෙන් ප්රකාශ ලබාගැනීමට තිබීම නිසාත් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බව යන කරුණු සලකා බලා ඇප ලබාදීම ප්රතික්ෂේප කරමින් සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාල සැකකරු අල්ලස් චෝදනා මත ඉකුත් 7 වන දින අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
