
පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ මේ 28 වැනිදා විවෘත කරන මූන් අනුස්මරණ කෞතුකාගාරය
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඇලෙක්සැන්ඩර් මූන් කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන්
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඉතිහාසය 14 වන සියවස තෙක් අතීතයකට දිව යන්නවා.
III වන වික්‍රමභාහු රජ විසින් එය තම රාජධානියේ රාජකීය උද්‍යානය ලෙස භාවිතා කර ඇති අතර, මහවැලි ගං ඉවුර මෙය සුපෝෂණය කිරීම සඳහා භාවිතා කළ බවට සාක්ෂි සහිතයි.
ඉන් අනතුරුව ලංකාවේ අගනුවර මහනුවර වූ කාලයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම ස්ථානය රාජකීය උද්‍යානය ලෙසත්, නිදහසේ ඇවිද යාමට තබා ගත් ස්ථානය ලෙසත් භාවිතා කර තිබෙන බව සදහන්.
කෙසේ නමුත් රාජකීය උද්භිද උද්‍යානය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1815 දී අත්පත් කර ගත් අතර 1821 දී මෙය ආර්ථික භෝග වගා කරන ස්ථානයක් බවට බ්‍රිතාන්‍යයින් විසින් පරිවර්තනය කර තිබෙනවා.
කෝපි, විකිණිය හැකි මල්, කුරුඳු වැනි බෝග වගාව සඳහා මෙය යොදා ගත් අතර වගාවන් සඳහා පමණක් නොව ප්‍රදර්ශනය සඳහා ද යොදා ගත් ස්ථානයක් ලෙස ද ප්රකටයි.
රාජකීය උද්භිද උද්‍යානය කෝපි හා කුරුදු වගාව ප්‍රචලිත කිරීමට යොදා ගත් බවට ඓතිහාසික වාර්තා වල දැකගත හැකියි.
1843 වන විට මෙය විශේෂයෙන්ම කොළඹ ඇති කොම්පඤ්ඤ වීදියේ මල්වත්ත සහ කළුතර මල්වත්ත, එංගලන්තයේ කියු ගාර්ඩන් (Kew Garden) හා සමාන්තරව සංවර්ධනය කරන තිබෙනවා.
1844 වන විට ජෝර්ජ් ගාර්ඩ්න් මෙහි සුපිරින්ටන්ඩ්වරයා ලෙස පත් වූ අතර, විශේෂයෙන් එම පත්වීම සිඩුකර ඇත්තේ එංගලන්තයේ මහරජුගේ කැමැත්තට අනුවයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානය අක්කර 147 ක්, එසේත් නොමැති නම් හෙක්. 59 ක ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර, මිලියන 2 ක පමණ ජනතාවක් මෙම උද්භිද උද්‍යානය වසරකට නරඹන බවට පසුගිය වාර්තා මගින් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇති විශාලම උද්භිද උද්‍යානය වන පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ සුවිශේෂී ශාක ලෙස රාජකීයන් විසින් සිටුවන ලද ශාක විශේෂ ගණනාවක් ඇති අතර, විශේෂයෙන්ම ඕකිඩ් වර්ග 300 සහිත ඕකිඩ් නිවාසය, ඖෂධ උද්‍යාන, කුරුදු , ගම්මිරිස්, සාදික්කා, කරාඹු වැනි කුළුබඩු සඳහා යොදාගන්නා ශාක වර්ග හා මෙරටට ආවේනික ශාක විශේෂ ගණනාවක් දැකගත හැකියි.
දැනට මල් වර්ග හා ශාක වර්ග 4000 ක් පමණ මෙහි දක්නට ලැබෙනවා.
1824 දිවයිනට ආවේනික ශාක වර්ග 1127 ක නමාවලියක් ප්‍රකාශයට පත් කරන ලද ඇලැක්සැන්ඩර් මූන් අනුස්මරණය කරමින් පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ එළඹෙන සැප්තැම්බර් මස 28 වැනිදා විවෘත කරනු ලබන මූන් අනුස්මරණ කෞතුකාගාරය පරිසර සංරක්ෂණය හා දැනුම ප්‍රජාව වෙත ලබා දීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඩින්විය හැකියි.
