
මැරීන් භටයින් 60 ක් සමග ඇමරිකානු C – 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් කටුනායකට
ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී. – 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද(07) පස්වරු 01.00 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා.
මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද පැමිණ සිටියේ මානුෂීය මෙහෙයුම් සඳහා සහය වීමටයි.
අදාල ගුවන් යානා දෙක මෙරටට පැමිණ තිබුණේ තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිටයි.
ඇමරිකානු ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතයි.
මේ අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.


