මිනිසත්කමින් පොහොසත් ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය ” ආපදාවට ලක් වූවන් සොයා ගමින් ගමට

මිනිසත්කමින් පොහොසත් ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය ” ආපදාවට ලක් වූවන් සොයා ගමින් ගමට

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේම ජනතාවට පිළිසරණක්වීම සඳහා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කළ ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය පසුගිය දින කිහිපය පුරාම අඛණ්ඩව පැවැත්වුණා.

ඒ අනුව ඊයේ (06) දිනයේත් ප්‍රදේශ කිහිපයකම ඔබ අපට ලබාදුන් පරිත්‍යාග විපතට පත් ජනතාව වෙත බෙදාදීම සිදු කෙරුණා.

නොසිතූ මොහොතක ඇතිවූ හදිසි ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් වූ අපේම ජනතාව වෙනුවෙන් ජනතාවාදී මාධ්‍ය නාලිකාවක් සතු මාධ්‍ය වගකීම සියතට ගනිමින්, අපට කළ හැකි උපරිම දේ සිදුකිරීම සඳහායි ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ නම් වූ මා හැඟී ක්‍රියාන්විතයක් ආරම්භ කළේ.

මේ අඛණ්ඩ මෙහෙයුම තවත් ඉදිරියට ගෙනයමින් පිසූ ආහාර පාර්සල විපතට පත්වූවන් වෙත ලබාදීම සඳහා ප්‍රජා මුළුතැන්ගෙයක් ද අප ප්‍රධාන කාර්යාලයේ පවත්වාගෙන යනු ලැබුවා.

ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සමඟ එක් වූ පරිත්‍යාගශීලී හදවත් ඇති ජනතාව තමාට හැකි අයුරින් රැගෙන ආ ද්‍රව්‍යවලින් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලය පිරී ගියා.

පසුගිය දින කිහිපයක පුරා ඔබ ගෙනවිත් දුන් දේ අප ඇසුරුම් කර විපතට පත් ජනතාව අතට කඩිනමින් පත්කිරීම සඳහා අප යුහුසුලුව කටයුතු කළා.

ඒ අනුව ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනේ මීළඟ අදියර ලෙස වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පීඩාවට පත් වූ ජනතාව වෙත රැගෙන යාමේ ක්‍රියාන්විතය තවදුරටත් ක්‍රියාත්මකයි.

බදුල්ල, වැලිමඩ, මහනුවර, ගම්පොළ, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, ත්‍රිකුණාමලය, මාවඩිචේන සහ ඉච්චලම්පත්තුව ආදී ප්‍රදේශ රැසක විපතට පත් ජනතාවට ඔබ ලබාදුන් පරිත්‍යාග බෙදාදීම පසුගිය දින කිහිපය පුරාම සිදු කෙරුණා.

ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සමඟ අත්වැල් බැඳගනිමින් ඔබ ලබාදුන් ආධාර ඊයේ දිනයේත් ප්‍රදේශ කිහිපයකම බෙදාහැරීම අප කණ්ඩායම් සිදු කළා.

කුරුණෑගල දිස්ත්‍රික්කය බලා අප කණ්ඩායමක් ගමන් කළේ එහි සිටින ආපදාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහායි.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව හා ගනේවත්ත ආදී ප්‍රදේශවල විපතට පත් ජනතාවට ඔබ ලබාදුන් පරිත්‍යාග අප බෙදාදුන්නා.

මිනිසත්කමේ ගුණ සුවඳත් රැගෙන ඉදිරි දිනවලත් ප්‍රදේශ කිහිපයකටම ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය විපතට පත් ජනතාව සොයා පැමිණීමට නියමිතයි.

Share This