මුහුණු පොතේ කට්ටියක් සංවිධානය කළ සංගීත ප්‍රසංගයේ සිටි තරුණ, තරුණියන් පිරිසක්  විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට

මුහුණු පොතේ කට්ටියක් සංවිධානය කළ සංගීත ප්‍රසංගයේ සිටි තරුණ, තරුණියන් පිරිසක් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට

මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි “කමත” නැමතිි ස්ථානයේ ඊයේ (01) රාත්‍රියේ පැවති DJ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ, තරුණියන් පිරිසක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය පවසනවා.

පොලිසිය පැවසුවේ රටම එකට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත සංගීත ප්‍රසංගය පැවති ස්ථානය අවට මෙහෙයුමක් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.

මෙම අවස්ථාවට තරුණ, තරුණියන් 600 කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් ඒ අතුරින් සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හා ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ්, පිල් නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට්, මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා, ෆී කැප් නැමැති මත්කරල්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බවද පොලිසිය පැවසුවා.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට පත් තරුණ තරුණියන් මීගමුව, අනුරාධපුර, ගාල්ල, කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, නුවරඑළිය, හැටන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස්කාණ්ඩවල පසු වන අය බවයි.

One Lon Love Miracle Garden DJ Party නමින් මුහුණු පොත හරහා මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබාදෙමින් මාදිවෙල පිහිටි “කමත” නම් ස්ථානයට තරුණ පිරිස කැඳවා ඇති බවත්, කිසිදු ගැටලුවකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සංගීත නාද රටාවන්ට නැටුම්, ගැයුම් ඉදිරිපත් කිරීමට හැකි බව ප්‍රචාරය ලබා දී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

පොලීසිය පෙන්වා දෙන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන මෙවැනි සාදවලට පැමිණෙන තරුණ, තරුණියන් පිළිබඳව දෙමාපියන් මීට වඩා සැලකිලිමත්ව සොයා බලා ක්‍රියාකළ යුතු බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ මීට සති දෙක තුනකට පෙර පැවැත්වීමට සූදානම් කර තිබූ facebook සාදයක් අවස්ථාවේදී ද පොලිසියට ලද තොරතුරු මත එම සාදයේ සිටි පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

Share This