රන්මල් කොඩිතුවක්කුගේ නැගනිය ලෙස රඟපෑ කාන්තාව මානසික වෛද්‍යවරයකුට යොමු කරන්න පොලීසිය සැරසෙයි

රන්මල් කොඩිතුවක්කුගේ නැගනිය ලෙස රඟපෑ කාන්තාව මානසික වෛද්‍යවරයකුට යොමු කරන්න පොලීසිය සැරසෙයි

රථ වාහන වරදක් සම්බන්ධයෙන් කළ පොලිස් පරීක්‍ෂාවක් අතරතුර දී තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ නැගණිය බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණු කාන්තාව මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් කැඳවීමට අපේක්‍ෂා කරන බව පොලිසිය පවසනවා.

දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුව එම කාන්තාව හෙට(03) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයෙන් මේ සඳහා ඉල්ලීමක් කිරීමටයි පොලිසිය සූදානම් වන්නේ.

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ දී පොලිස් රථ වාහන පරීක්‍ෂාවක් අතරතුර කාන්තාවක් ඊයේ (01) කළහකාරී ලෙස හැසිරී පොලිස් රාජකාරිවලට බාධා සිදුකරමින් පවසන්නේ තමන් ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගේ නැගනියක බවයි.

කෙසේ වෙතත් ඇය පොලිස් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ ඇය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අතර කිසිඳු ඥාති සම්බන්ධකමක් නොමැති බවයි.

බේස්ලයින් පාරේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සැකකාරිය ඇගලුම් ක්‍ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් බවත් හෙළිව තිබෙනවා.

ඔවුන් අලුතින් ඉදිකරන නිවසක සැලැස්මක් පිළිබඳ සාකච්ඡාවකට ඉංජිනේරුවරයෙකු හමුවීමට යමින් සිටියදී ඇය මෙලෙස පොලිසිය සමඟ ගැටුම ඇතිකරගෙන ඇති බවයි හෙළිවුණේ.

සැකකාරිය ඊයේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඇයට එරෙහිව අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්‍ෂාකාරී රිය ධාවනය, පොලිස් අණ නොතකා ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගොනුකර තිබුණා.

කරුණු සලකා බැලූ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේ ඇය හෙට දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඇය හෙට නැවතත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඇයගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට අවසර ඉල්ලා සිටින බව ගම්පහ පොලිසියේ ඉහළ නිලධාරියෙකු පැවසුවා.

Share This