වත්තල කපා කොටා ඝාතනයක් – පරණ සිද්ධියකට දැයි සැක

වත්තල කපා කොටා ඝාතනයක් – පරණ සිද්ධියකට දැයි සැක

ත්‍රීවීල් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ කඩුවකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දැනට මාස 04 ක පමණ කාලයක සිට කුලියට පදිංචිව සිටි රොබට් නිරෝෂන් නමැති වයස අවුරුදු(43) ක් පමණ වන අයෙක්.

අප වාර්තාකරු පැවසුවේ වත්තල පොලිස් වසමේ හේකිත්ත,ජාතික නිවාස සංකීර්ණයේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේදී මෙම ඝාතන‍ය සිදුව ඇති බවයි.

ඔහුගේ බිරිඳ හා කුඩා දියණියන් දෙදෙනා ඉදිරිපිට මුහුණු ආවරණය කරගත් සිව් දෙනා අදාල පුද්ගලයා අමානුෂික ලෙස කපා කොට ඝාතනය කොට පලා ගොස් තිබෙනවා.

මොවුන් එම ඝාතනය කිරීමට, කොළ පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සිව් දෙනාම කඩු රැගෙන උඩුමහලට ගොස් ඝාතනය කොට පලා යන අයුරු ඒ අසල තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා.

මෙම මරණකරු මහබාගේ පොලිස් වස⁣මේ 2023 වසරේදී සිදුවූ ⁣වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ‍යෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණි අයෙක් බවයි වත්තල පොලිසිය සඳහන් කළේ.

 

Share This