
වන සම්පත රකින්න හෙට අලුත් වැඩක් එළියට
තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක් තේමාවෙන් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ස්වභාවික වන සම්පත සංරක්ෂණය උදෙසා “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය පිහිටුවීම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් පරිදි පරිසර අමාත්‍යවරයා ගේ මූලිකත්වයෙන් “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” තේමාවෙන් “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙට (03)ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ඒකය පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමයි.
පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මෙම ඒකකය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන් ස්ථාපිත කර තිබෙනවා.
මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙට (03) විවෘත වන්නේ කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, අංක 07 දරණ පරිසර අමාත්‍යාංශ (වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අංශ) පරිශ්‍රයේදීයි.
පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මෙම මෙහෙයුම් ඒකකය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු ඇති.
ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිත සිදුවන හානි පිළිබඳ 1995 කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබා දීමේ අවකාශය පවතිනවා.
වැඩිවන, වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමත් එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදුකිරීමත් මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබාදීමටත් හැකි පසුබිමක් සැකසීම සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිළධාරීන්ගෙන් සැදුම්ලත්ව මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කරවීමට අපේක්ෂිතයි.
ඵලදායී මෙහෙයුම් සම්බන්ධීකරණයක් ලෙස මෙම මධ්‍යස්ථානයේ සේවය සිදු වන අතර හදිසි අවස්ථාවලදී විශේෂයෙන් ගිනි තැබීම්, අනවසර දැව කැපීම්, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර සහ රක්ෂිතයන් ආශ්‍රිතව සිදුවන අපරාධයන්ට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන මානව සම්පත්, උපකරණ, තාක්ෂණය වඩාත් විධිමත් ලෙස යෙදවීමටත් මෙහි දී කටයුතු කරනු ඇති.
ඊට අදාළ නව්‍ය තාක්ෂණයන් වන ඩ්‍රෝන කැමරා, චන්ද්‍රිකා ඡායාරූප, ජී.පී.එස්. වැනි නව තාක්ෂණය භාවිත කරමින් වනාන්තර කලාප නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කිරීමට ද කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
මේ ඔස්සේ, වන අපරාධකරුවන් පිළිබඳව තොරතුරු රැස් කිරීමට සහ ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට අදාළ තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගැනීමත් සිදුකිරීමට නියමිතයි.
