රාජ්‍ය සේවකයින්ට විදුලි කාර් රථ, විදුලි මෝටර් බයිසිකල් ගෙන්වීම ඇතුළු යෝජනා රැසකට අවධානය

රාජ්‍ය සේවකයින්ට විදුලි කාර් රථ, විදුලි මෝටර් බයිසිකල් ගෙන්වීම ඇතුළු යෝජනා රැසකට අවධානය

ශ්‍රී ලංකා -චීන වෙළඳ ආයෝජන වැඩසටහන යටතේ චීන පාර්ශවයෙන් කරන ලද ආරාධනයකට අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පසුගියදා චීනයේ සංචාරයක නිරතවී තිබෙනවා .

එහිදී ප්‍රධාන පෙළේ චීන ව්‍යාපාරිකයන් රැසක් සමග ශ්‍රී ලංකා ආර්ථිකයට හිතකර ප්‍රතිඵලදායි ආයෝජන රැසකට අවශ්‍ය මූලික සාකච්ඡාවන් කිහිපයක් සාර්ථකව සිදු කිරීමට හැකිවූ බවයි පැවසෙන්නේ.

ඒවා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කර ආර්ථික අර්බුදයට සහනශිලී පිටිවහලක් සැලසෙන ආර්ථික සහ පාරිසරික හිතකාමී ආයෝජන වැඩසටහන් විම විශේෂත්වයක් .

මෙහිදී රාජ්‍ය සේවකයින් අරමුණු කරගෙන විදුලි කාර් රථ , විදුලි මෝටර් බයිසයිකල් මෙන්ම ව්‍යාපාරික පරිසරය පදනම් කරගෙන ත්‍රීවීල් රථ, සැහැල්ලු ලොරි රථ ද මෙරටට ගෙන්වීම හෝ මෙරට නිෂ්පාදනයට කර්මාන්තශාලා ආරම්භ කිරීමේ ආයෝජනයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කෙරුණා

කෘෂිකාර්මික ආර්ථිකය සම්බන්ධ කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට සාකච්ඡා කිරීම ද මෙහිදී සිදුවූ අතර ගොවීන්ට විශාල ගැටලුවක් වන නිෂ්පාදන පිරිවැය ඉතිරි කිරීම මෙන්ම කාර්යක්ෂම හා ඵලදායිත්වයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනිමට හැකි නවීන යන්ත්‍ර සූත්‍ර, ගොවි උපකරණ මෙරටට හදුන්වා දීමට අපේක්ෂා කෙරෙනවා .

එසේම කාර්යක්ෂමතාවයෙන් ධාරිතාවයෙන් යුතු විශාල යන්ත්‍ර මෙන්ම අඩු මිල ගණන් යටතේ මිලදි ගත හැකි කුඩා යන්ත්‍ර කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරුණා .

සූර්ය පැනල සවිකිරිම, සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයට අදාළ ආයෝජන අවස්ථා කෙරෙහිද මෙහිදී පුළුල්ව සාකච්ඡා කළ අතර ඒ සඳහා ආයේජනය කිරීමට චීන ව්‍යාපාරිකයන් රැසක්ද උනන්දුව පළ කර සිටියා .

එමෙන්ම බෝතල් කළ පිරිසිදු පානිය ජලය අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ .

චීනයේ හා විශේෂයෙන් අමාත්‍යවරයා සංචාරය කරන ලද චෙන්දුම් ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුදු, ගම්මිරිස්, කරාබු නැටි, එනසාල් ආදී කුළු බඩු වර්ගවලට මෙන්ම තේ, කෝපි සඳහා විශාල ඉල්ලුමක් හා උනන්දුවක් පවතිනවා .

Share This