බොරැල්ල මාරක රිය අනතුරේ රියදුරු ගංජා ගහලා. 85% ක් රිය අනතුරු  පුද්ගල වැරදි

බොරැල්ල මාරක රිය අනතුරේ රියදුරු ගංජා ගහලා. 85% ක් රිය අනතුරු පුද්ගල වැරදි

මෙරට සිදුවන රිය අනතුරුවලින් සියයට 85කටම හේතුව කාර්මික දෝෂ නොව පුද්ගල ක්‍රියාකාරකම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මහතා පවසනවා.

ඊයේ බොරැල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක අනතුර සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කලා.

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී තිරිංග ක්‍රියා විරහිත වී පැමිණි දොඹකරයක් වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථ 3ක සහ යතුරුපැදි 6ක ගැටීමෙන් ඊයේ මාරක අනතුරක් සිදුවුණා.

බොරැල්ල කනත්ත ආසන්නයේ ආලෝක සංඥා පුවරු ඉදිරිපිටදී සංඥා ලැබෙන තුරු නවතා තිබූ වාහන වෙතට වේගයෙන් කඩා වැදුණු දොඹකරය පදික මංතීරුවේ වැටේ ගැටී නැවති තිබුණා.

මෙම මාරක අනතුරින් එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 7දෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි සුදත් නන්දන නමැති අයෙක්.

ඔහුගේ දේහය අද දහවල් අතුරුගිරිය, බක්මීගහ පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුර සිදු කළ දොඹකරයේ රියදුරා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව අනාවරණ වුණා.

ඒ සම්බන්ධව සිදු කළ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මහතා අවධාරණය කළේ මෙරට වාර්තා වන රථ වාහන අනතුරු වලින් 85%ක ප්‍රමාණයක් සිදු වන්නේ මානුෂීය වැරදි නිසා බවයි.

මේ අතර ගත වූ පැය විසි හතර තුලත් දිවයිනේ ප්‍රදේශ රැසකින්ම මාරක රිය අනතුරු කිහිපයක්ම වාර්තා වූ අතර රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රිදීවිට අල්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිටුපස යතුරුපැදියක් ගැටිමේන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුර ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

බස් නැවතුමක් නොවන ස්ථානයක අපරික්ෂාකාරී අයුරින් එම බසය නවතා ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇති අතර මේ වන විට බස් රථයේ රියදුරු රක්වාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව හොරණ, ගෝවින්න ප්‍රදේශයේ නිවසකට කඩා වැදී තිබුණේ ඊයේ පස්වරුවේදියි.

එහිදී එක් අයෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කෙරුණු අතර නිවසට සිදු වු හානිය හේතුවෙන් නිවැසියන් විසින් වන්දි ඉල්ලීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වෙතත් අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථය පදවා ඇත්තේ නිත්‍යානුකූල රියදුරු නොවන බවට පොලිසිය හෙළි කරගෙන ඇති අතර එහි සිටි නිත්‍යානුකූල රියදුරා සහ රථය පැදවූ තරුණයා හොරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

Share This