
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලත් කිරීම ගැන නිවේදනයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සම්බන්ධව කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ තීරණය ජනමාධ්‍ය වෙත දැනුම් දී තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම සිදුකර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුඵ සාමාජිකයන් තිදෙනා ගේ විධානය පරිදි දූෂණ විරෝධී පනත 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබාදී කඩිනමින් විමර්ශනය කළ බවයි.
ප්රස්තුත කරුණ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල විශේෂ අවධානය යොමුවී තිබීම හේතුවෙන් අදාළ විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ විමර්ශනය තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පවසනවා.
අධිකරණ නිලධාරීන් ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි කොමිසම නිකුත් කළ නිවේදනයේ සදහන්.
එහි දැක් වෙන්නේ එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන් ගේ තවත් දරුවන් ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ අනුව, ඉහත දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්,පක්ෂග්රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහවීමක් සිදුවී නොමැති බව කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
