
ශ්‍රී ලංකා පාකිස්ථානය දෙවන එක්දින තරගය අද
ඉන්දු-පාකිස්ථාන අර්බුදය යළි උත්සන්න වීමට ආසන්නතම සිදුවීම වාර්තාවුණේ පසුගිය සදුදායි.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බෝම්බ පටවා ගත් මෝටර් රථයක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් තිබියදී පුපුරායාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථානයට ඍජුව චෝදනා එල්ල නොවුනත් ඊට පසුදිනම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.
ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්වූ අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබුවා.
ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරගාවලියකට සහ සිම්බාබ්වේ කණ්ඩායමද එක්වන තුන්කොන් 20-20 තරගාවලියකට එක්වීම සඳහා පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත පැමිණ සිටියා.
මෙම බෝම්බ ප්‍රහාරය ඉස්ලාමාබාද් අගනුවර වෙත එල්ල වූ අතර එය එය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින තරගාවලිය ක්‍රීඩාකරන රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17 ක් පමණ දුරින් සිදුවුණා.
මෙවැනි අර්බුද කාරීතත්වයක් මත ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පවතින ආරක්ෂක තත්වය සලකිල්කට ගනිමින් තරගාවලිය අතර මගදී නවතා දමා යළි මෙරටට පැමිණීමට ඉල්ලීම් සිදු කර තිබුණා.
කෙසේ වෙතත් මෙරට රජය සහ ක්‍රිකට් ආයතනය මෙන් ම පාකිස්ථාන රජය සහ එරට ක්‍රිකට් ආයතනය එක්ව මේ පිලිබඳ සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරීමට පියවර ගැනීමත් සමඟ තරගාවලිය කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට තීරණය කළා.
ඒ අනුව එක්දින තරගාවලියේ සහ තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහනද සංශෝධනය කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගැනුණා.
සංශෝදීත කාල සටහනට අනුව එක්දින සහ තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග රාවල්පින්ඩිහිදී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය අවසන් පුහුණු සැසියට එක්වුණා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරට රාජ්‍ය නායකයෙකුට හිමිවන තරමේ ප්‍රභූ ආරක්ෂාවක් පාකිස්ථාන රජය විසින් සපයා තිබූණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු සැසියට පැමිණෙන සහ ඉන් පිටව යන අවස්ථාවන්හිදී ඔවුන් පැමිණෙන මාර්ගය අවට සෙසු සියලු මාර්ග වසා තබමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අයුරුත් කැපී පෙනුණා.
එමෙන්ම පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලිය අත්නොහැර පාකිස්ථානය තුළ රැදී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තීරණය කරමින් අවසන් පුහුණු සැසියට සහභාගී වීම් සඳහා ඔවුන් රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී පකිස්ථාන ක්‍රීඩකයින්ගෙන් සහ ක්‍රීඩා ලෝලීන්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.
මෙම අවස්ථාව නිරීක්ෂණයට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්වි, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න මෙන්ම එරට ආරක්ෂක ප්‍රධානීන් ද එක්වුණා.
එහිදී මොහ්සින් නක්වි මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද හමුවී පකිස්ථාන සංචාරය අත්නොහැර දිගටම පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන්ට පෞද්ගලිකව ස්තූතිය පළ අතරම එය ”සාමයේ ජයග්‍රහණයක් සහ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර කල් පවතින මිත්‍රත්වයට සාක්ෂියක්” ලෙසද ඔහු පවසා සිටියා.
