
අමාත්‍ය වසන්ත සමරසිංහ ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්වුණා.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් විය.
සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූණා.
මෙම හමුවේදී, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 1981 වසරේ සිට පැවතෙන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියහ.
ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්විය.
සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව මෙහිදී සාකච්ඡා වූ අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා ඵලදායී වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළා.


