දුම්රිය සේවය කඩිනමින් යථාවත් කර ගැනීමේ අවශ්‍යතාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනපතිට දන්වයි

දුම්රිය සේවය කඩිනමින් යථාවත් කර ගැනීමේ අවශ්‍යතාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනපතිට දන්වයි

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දුම්රිය සේවය කඩිනමින් යථාවත් කර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සිදුව ඇති හානියේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, විදේශීය දුම්රිය ඉංජිනේරු සමාගම් සහ ජාත්‍යන්තර ආපදා ප්‍රතිචාර ආයතනවලින් වහාම සහාය ලබා ගන්නා ලෙස සංගමයක් වශයෙන් රජයෙන් ඉල්ලා සිටින බවයි.

ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව, දියුණු යන්ත්‍රෝපකරණ සහ වේගවත් යෙදවීමේ හැකියාවන්, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැමි ස්ථාවර කිරීම, පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සහ සංඥා සහ සන්නිවේදන පද්ධති නැවත සක්‍රිය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බව එම සංගමයේ අදහස වී තිබෙනවා.

මේ අතර රට තුළ උද්ගත වූ දරුණු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ අපගේ සියලුම සහෝදර සහෝදරියන්ට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනවා.

එම සංගමය පවසන්නේ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබන සියල්ලන්ටම ඉක්මන් සහ සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරන අතර, මෙම ඛේදජනක කාලපරිච්ඡේදයේ දී විපතට පත් සියල්ලන්ගේ ම පවුල්වලට අපගේ කණගාටුව ප්‍රකාශ කරන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම පෙන්වා දෙන්නේ ජාතික ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ශ්‍රී ලංකා දුම්රිය සේවය පෙර නොවූ විරූ මෙම ස්වාභාවික ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් ව ඇති බවයි.

දුම්රිය මාර්ග, පාලම්, දුම්රිය ස්ථාන, සංඥා පද්ධති සහ ප්‍රධාන ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව තිබෙන බව එම සංගමය පවසනවා.

විනාශය කෙතරම් දරුණු හා පුළුල් ද යත්, සම්පූර්ණ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සැබෑ පිරිවැය සහ කාලය තවමත් තක්සේරු කළ නොහැකි බව එම සංගමයේ අදහසයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය යනු ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවන අතර, අප රටේ ආර්ථිකයේ තීරණාත්මක අංගයක් වන අතර ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් අංගයක් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

ඔවුන් පවසන්නේ උඩරට මාර්ගයේ විශේෂයෙන් බදුල්ල දෙසට ඇති දර්ශනීය කොටස වැනි සංකේතාත්මක මාර්ග, ලෝකයේ සුන්දරම දුම්රිය ගමන් අතර ශ්‍රේණිගත වී ඇති බවයි.

එබැවින් මෙම මාර්ග යථාතත්ත්වයට පත් කිරීම මගී ගමනා ගමනය සඳහා පමණක් නොව සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීමට සහ ඒ මත යැපෙන පවුල් දහස් ගණනකට සහාය වීමට ද අත්‍යවශ්‍ය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

වර්තමානයේ, සීමිත දුම්රිය වාර ගණනක් පමණක් ක්‍රියාත්මක වන අතර, ඉන් මුහුදුබඩ මාර්ගය ප්‍රධාන ක්‍රියාකාරී මාර්ගය වන බව සංගමය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන්.

එසේ ම, හැකි සියලුම දුම්රිය මාර්ග අදියර වශයෙන් සහ ආරක්ෂිතව නැවත විවෘත කිරීමේ වැදගත්කම ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම‍ය අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්, වහාම ප්‍රතිසංස්කරණය කළ හැකි කොටස්වල මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බව ජනාධිපතිවරයාට ඔවුන් යොමුකළ ලිපියේ සඳහන්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම‍ය යෝජනා කර ඇත්තේ උදාහරණයක් ලෙස, කළ යුත්තේ සම්පූර්ණ අළුත්වැඩියාවන් සිදු කරන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හැර දැමීම නොව, බදුල්ල නානුඔය දුම්රිය ස්ථාන අතර නවතා ඇති දුම්රියයන් උපයෝගී කර අවම වශයෙන් විදේශීය සංචාරකයින් ඉලක්ක කරගනිමින් දුම්රිය ධාවනය කරවීම බවයි.

සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීමට එය මහත් රුකුලක් වනු ඇති බව එඅම සංගමය පවසනවා.

එබැවින්, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සමඟින් දුම්රිය ජාලය නැවත ගොඩනැගීම සඳහා රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍ය බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙන්වා දෙනවා.

ඒ සඳහා තම සංගමය ආරක්ෂිත සහ විශ්වාසදායක දුම්රිය සේවා කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙන බව ද ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Share This