‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ට පරිත්‍යාග ගලයි

‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ට පරිත්‍යාග ගලයි

මහ වැසි සහ නාය යෑම්වලටත් හසු වූ විශාල පිරිසක් මේ වන විටත් දැඩි දුෂ්කරතා මධ්‍යයේ පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන්ට සරණක් වීමටයි පසුගියදා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මගින් ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය ආරම්භ කළේ.

තවමත් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ බිම් මහල මුලුමනින්ම වෙන් කර තිබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සහනාධාර භාරගැනීමට සහ ආහාර පිස විපතට පත්ව සිටින අපේම ජනතාව වෙත ගෙන ගොස් දීම සඳහායි.

මහ වැසි, නාය යෑම් හා ජල ගැලීම් හේතුවෙන් අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කර තත්ත්වයකටයි.

මුළු රටක්ම මේ වන විට පීඩාවට පත්ව අවසන්.

ඒ අතරින් ඇතැමෙකුට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණයි.

අසරණවූ මේ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වන්නට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ආරම්භ කළේ කවදත් ජනතාවාදී මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නන් ලෙසයි.

ඒ වැඩපිළවෙළේ තවත් පියවරක් ඉදිරියට තබමින් අමුද්‍රව්‍ය වෙනුවට ආහාර පිසූ ආහාර පාර්සල් විපතට පත්වූවන් වෙත ගෙන ගොස් දීමට අප කටයුතු කළේ ඔවුන්ට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ එය බව පසක් වූ නිසයි.

ඒ අනුව ඔරුගොඩවත්ත, ඔරියන්සිටිහි පිහිටි ස්වර්ණවාහිනී පරිශ්‍රයේ සිට විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් ආහාර පිසීමට හා යුහුසුලුව ඔවුන් වෙත රැගෙන යාමට පසුගිය දින කිහිපයේම මෙන්ම අදත් අප කටයුතු කරනවා.

ලියෝන් මිල්ක්ස් ෆුඩ්ස් ආයතනය මඟින් ඊයේ පිසූ ආහාර පාර්සල් ලබාදීමට මෙලෙස කටයුතු කළා.

ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සඳහා ඊයේ ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා ද එක්ව සිටියා.

නෙක්ස්චන් හෝල්ඩිං ආයතනය මඟින් ද ඊයේ රාත්‍රියේ පිසූ ආහාර පාර්සල් දහසකට අධික ප්‍රමාණයක් සහ ජල බෝතල් ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සඳහා පරිත්‍යාග කළා.

ද්‍රව්‍යමය පරිත්‍යාගයන්ට අමතරව අපේම සහොදර ජනතාවගේ කුසගිනි නිවාලන මේ මහඟු මෙහෙවරට දායකත්වය දැක්වීමට අදත් බොහෝ පිරිසක් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙට පැමිණ සිටියේ මෙලෙසයි.

අපේම ජනතාවගේ හදගිනි නිවන ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ප්‍රජා මුළුතැන් ගෙය සඳහා සහල්, පරිප්පු, මිරිස්, තුනපහ ඇතුළු කුළුබඩු මෙන්ම සෝයාමීට්, ලූණු, කරවල, බිත්තර, පිටිකල පොල්කිරි, පැකට් ආදිය රැගෙන අප වෙත පැමිණ ඔබට ද සහය විය හැකිය.

ඊට අමතරව වියළි ආහාර, පානීය ජල බෝතල්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ගෙනැවිත් බාරදීම සඳහා අප දෙමටගොඩ කාර්යාලය මෙන්ම වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවද විවෘතයි.

හෙට්ටිවීදිය, බම්බලපිටිය, කිරිබත්ගොඩ, වත්තල, මීගමුව, නුගේගොඩ, මහරගම. කලුතර, ගාල්ල හා මාතර පිහිටි ස්වර්ණමහල් ශාඛා වෙත ද ඔබට පරිත්‍යාග ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ අතර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සහ ස්වර්ණ ශ්‍රී සහන සත්කාර එක්ව සිදුකරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන හෙට උදෑසන 9 සිට ඔරුගොඩවත්ත ඔරියන්සිටි, ස්වර්ණවාහිනි පරිශ්‍රයේදී සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ට දායක වී අපේම සහෝදර ජනතාවට ශක්තියක් වන්නට අපත් සමඟ ඔබත් එක්වන්න.

මේ අසීරු මොහොතේ මනුසත්කම් බෙදා ගන්න හිතවත්කම රැගෙන ඔබත් එන්න.

 

Share This