
ත්‍රිකුණාමලය – චීනවරාය ප්‍රදේශයේ දී ආපන ශාලා හිමියකු වෙඩි තබා ඝාතනය කරයි – යාපනයේ මිනීමරු කල්ලියත් අල්ලයි
ත්‍රිකුණාමලය – චීනවරාය ප්‍රදේශයේ ආපනශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 59 හැවිරිදි අදාළ පුද්ගලයා ත්‍රිකුණාමල රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ වෙඩිතැබීම සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජිකයෙක් බව පැවසෙන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් මස 18 වැනිදා රාත්‍රියේ උනාකූරුවේ ශාන්ත නමැත්තාගේ මවගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කළ අතර, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.
ඔහු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර, ඔහු විසින් සිදු කළ බව කියන ඝාතනයට පලිගැනීමක් ලෙස උනාකූරුවේ ශාන්තගේ මෙහෙයවීම මත ඊයේ ඝාතන සිදුකර ඇති බවයි සැකකරන්නේ.
වාර්තා වූයේ උනාකූරුවේ ශාන්තගේ නැන්දා සහ මාමා ඝාතනය දෙහිබාලේ සහ කරන්දෙණිය සුද්දා එක්ව සිදුකර ඇති බවටයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය සහ උනාකූරුවේ ශාන්තගේ පාර්ශ්වය අතර ගැටුම් හටගෙන ඇති අතර, මේ වනවිට අදාළ ගැටුම් හේතුවෙන් දකුණු ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන 5ක් සිදුව තිබෙනවා.
මේ අතර, පෙරේදා දහවල් යාපනය කෝපායි කිරලවේලි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සතුව තිබූ තියුණු ආයුධ කිහිපයක්, වෑන් රථයක්, මෝටර් රථයක් ඇතුළු වාහන කිහිපයක් පොලිස් භාරයට ගැණුනා.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර, ඔහු සෑම ඉරු දිනකම පොලිස් පොතෙහි සටහන් තැබීම සඳහා ගමන් ගන්නා අතර, ඒ අතරතුර පහරකැමට ලක්ව තිබුණා.
පොලිසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේ කණ්ඩායම් 2ක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් මත එම ඝාතය සිදුකර ඇති බවයි.
