ඉන්දියාවේ 75වන ජනරජ දිනය අදයි

ඉන්දියාවේ 75වන ජනරජ දිනය අදයි

අප අසල්වැසි ඉන්දියාවේ 75 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර ජනරජ දිනය සංවර්ධිත ඉන්දියාවක් යන තේමාව යටතේ සිදු කෙරෙන අතර මෙවර ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ඉන්දීය ජනරජ දිනයකට සහාභාගි වන 6වන අවස්ථාවද මෙය වනවා.

1947 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරන්නේ 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි.

නවදිල්ලි නුවර රාජ්පාත්හි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය විශේෂ එකක් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රථම වරට ඉන්දීය සංගීත භාණ්ඩ වාදනය කරමින් කාන්තා කලාකරුවන් 100 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්ද මෙවර පෙළපාලියට එක්ව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ කාන්තා කණ්ඩායම ද 75 වන ජනරජ දිනයට එක්වීම ද පළමු වරට සිදු කෙරෙනවා.

හමුදා උත්තමාචාර මෙන්ම සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත වනවා.

මෙවර උත්තමාචාර පෙළපාලිය නැරඹීම සඳහා විශේෂ අමුත්තන් 13,000ක් එක්ව සිටිනවා.

භාරතයේ නාමය බැබලූ ඉන්දියාවේ අභිමානවත් පුරවැසියන් වෙනුවෙන් මෙවරත් භාරත රත්න පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ
ගෞරව සම්මාන පිරිනැමීමට නියමිතයි.

Share This