ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගැනීමේ හේතුව අල්ලස් කොමිසම දන්වයි

ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගැනීමේ හේතුව අල්ලස් කොමිසම දන්වයි

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු සෞඛ්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා ‍රක්ෂණ සංස්ථාවෙන් ලබාගැනීමේ දී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබාගැනීමට හැකිව තිබිය දී වෙනත් තැරැව්කාර ‍රක්ෂණ සමාගමක් ඒ සඳහා මැදිහත් කර ගනිමින් රු. 4,750,828.72 ( හතලිස් හත් ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙකක් ) ගෙවීමට සලස් වා අයුතු ලාභයක් තැරැව්කාර සමාගමට හිමිකර දීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණැතුංග අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම‍ර්ශන කොමිසන් සභාව පවසනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රු.4,750,828.72 ක් අදාල තැරැව්කාර සමාගමට ගෙවීමෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදු කිරීම තුලින් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ප්‍රසන්න රණතුංග අල්ලස් පනතේ 70 වගන්තියට ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි.

විමර්ෂණ කොමිසන් සභාවේ නිලධාරීන් ඒ අනුව ඔහු අද (12) අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This