මාර්ග දෙකකින් ගාසා තීරයට ආධාර ලබාදීමට ඊශ්‍රායලයේ අවසරය

මාර්ග දෙකකින් ගාසා තීරයට ආධාර ලබාදීමට ඊශ්‍රායලයේ අවසරය

ගාසා තීරයට මානුෂීය මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර එමගින් භූමියට වැඩි ආධාර ලබා දීමට ඉඩ සලසා ඇති බව ඊශ්‍රායලය පවසනවා.

උතුරු ගාසා තීරයේ Erez ගේට්ටුව යුද්ධය ආරම්භයේ සිට පළමු වරට තාවකාලිකව නැවත විවෘත කෙරෙන අතර Ashdod වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත කරන බව සඳහන්.

ජෝර්දානයෙන් ලැබෙන තවත් ආධාර Kerem Shalom Crossing හරහා ඇතුළුවීමටද අවසර හිමිවනවා.

මෙලෙස මානුෂීය ආධාර බෙදා හැරීමට මාර්ග විවෘත කර ඇත්තේ පසුගියදා ගාසා තීරයේ සේවය කළ සහන සේවකයන් හත් දෙනෙකු මිය යාමෙන් පසු පළමු වතාවට අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ඊශ්‍රායල අගමැති සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අගමැතිවරයාගෙන් සිවිල් හානි වැළැක්වීමට සහ ආධාර සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට ස්ථිර පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

එසේ නොවුණහොත් ගාසා තීරය හා ඊශ්‍රායලය සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැනට සිටින ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සිදුවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

Share This