සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු – රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් ආරාධනයක්

සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු – රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් ආරාධනයක්

ආපදාවෙන් විනාශ වූ වගා සඳහා කඩිනමින් වන්දි ලබා දීමටත්, නැවත වගාවට අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අඩු ආපදාවන්ට මුහුණ දුන් ස්ථානවල කාර්ය මණ්ඩල සහ උපකරණ දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන්න ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡාවකටීයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින්.
රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට  මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා එහිදී පැවසුවා.
එමෙන්ම, මෙම ව්‍යසනයෙන් රට ගොඩනැගීමේදී රාජ්‍ය යාන්ත්‍රණයටද අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු’යි සමස්ත රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළා.
විදුලි  සැපයුම, පානීය ජල අවශ්‍යතා, ප්‍රවිශිෂ්ට මාර්ග පිළිසකර කර ගැනීම, රෝහල් පිළිසකර කර ගැනීම ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්ම ඊට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී  පළාත් වශයෙන් කරුණු ඉදිරිපත් කෙරුණා.
ආපදාවෙන් මේ වන විට ජනතාව විශාල පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර , සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් සලසමින් ඔවුන් රැක බලා ගැනීම රජයේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇති බවත්, එමෙන්ම ජන ජීවිතය යථාවත් කර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා ශක්තිමත් කිරීම කෙරෙහිද රජය මේ වන විට පුළුල් අවධානයකින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මෙම යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය නිසි සැලැස්මකට අනුව සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව තම දිස්ත්‍රික්ක තුළ සිදුව තිබෙන හානිය, හානියේ ප්‍රමාණය සහ එය යථාවත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද වාර්තාවක් කඩිනමින් ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දුන්නා.
එහිදී විධිමත් වාර්තාවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය නිලධාරීන් යොදවමින් අවසාන ගොවියා දක්වා සිදු වූ වගා හානි පිළිබඳ තොරතුරු කඩිනමින් රැස් කරන ලෙස දැනුම් දුන් අතර එමගින් ඉදිරි මහ කන්නය සාර්ථක කර ගනිමින් රටට අවශ්‍ය වී අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තිබෙන බව පෙන්වා දුන්නා.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවත්, විනාශ වූ සත්ව ගොවිපොළවලට අවශ්‍ය සහාය ලබා දෙමින් ඒවා යළි නගා සිටුවීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ දැනටමත් චක්‍රලේඛයක් මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලය ලබා දී තිබෙන බවයි.
එමෙන්ම 2025 අයවැයෙන් අනපේක්ෂිත වියදම් සඳහා වෙන් කරන ලද බිලියන 30 කට වැඩි මුදලක් ඉතිරි වී තිබෙන බව පැවසු ජනාධිපතිවරයා තවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා ප්‍රතිපාදන අනුමත කර ගත හැකි බව පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා පැවසුවේ එබැවින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනුම් දෙන ලෙස ශ එම මුදල් යුහුසුළුව ලබා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම කටයුතු වෙනුවෙන් ඉදිරි අයවැය ලේඛනයෙන්ද යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර බිඳ වැටි ඇති සන්නිවේදන ජාලා කඩිනමින් යථාතත්ත්වයට පත් කර ගැනීම පිළිබද ප්‍රධාන සන්නිවේදන සමාගම් සමග සාකච්ඡා කර තිබෙන බවත් එම කටයුතු කඩිනමින් යථාතත්ත්වයට පත්වනු ඇති බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.
ඇතැම් විශාල විදුලි රැහැන් කුලුණු බිඳ වැටීම හේතුවෙන් ඇතැම් ස්ථානවල විදුලිය යථාවත් කිරීමේදී කාලයක් ගත විය හැකි නමුත් රෝහල්, ප්‍රධාන නගර, ප්‍රධාන රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් ඉතා ඉක්මණින් විදුලිය ලබා දීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ඔහු සඳහන් කළේ පානීය ජල ගැටලුව විසදීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
ළිං සහ ප්‍රජා ජල වැඩසටහන් හරහා තිබු ප්‍රධාන ජලපවහන පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් තිබෙන බව ජනාධිපතිවරයා පැවසුවා.
මෙම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතුව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙන බව ද පෙන්වා දී තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර සියලු කටයුතු එහි මධ්‍යගත කීරීමට සූදානම් කර තිබෙන බවයි.
මෙම අවස්ථාව ආර්ථික වශයෙන් රට නැගි සිටිමින්  තිබු අවස්ථාවක් වන බැවින් මෙම ව්‍යසනය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ සහාය ලබාගත යුතුව තිබෙන බවත්, ඒ සඳහා ශක්තිමත් අරමුදලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය වන පරිදි කළමනාකරණ කමිටුවක් මගින් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
මෙම අර්බුදයට රජයට  තනිව විසදුම් සොයා ගත නොහැකි අතර පෞද්ගලික අංශයේ සහාය ඒ වෙනුවෙන් අපේක්ෂා කරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා  රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු රට තුළ සිටින පිරිස් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ මිතුරු විදෙස් රාජ්‍යයන් සමග ඉතා ශක්තිමත් සබදතාවන් ගොඩනගා ගනිමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද ඔහු පැවසුවා.
Share This