අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන සාධක හඳුනාගැනේ

අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන සාධක හඳුනාගැනේ

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු වලට බලපානු ලබන ප්‍රධාන සාධක කිහිපයක් හඳුනාගෙන ඇති බව අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික වෛද්‍ය චමෝද් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශකර සිටිනවා.

රියදුරන්ගේ නොසැලකිල්ල, වාහන නඩත්තු ගැටලු සහ තුන්වන පාර්ශ්වයෙන් සිදුවන අනතුරු අධිවේගී මාර්ගවල අනතුරු සඳහා ප්‍රධාන හේතු තුන ලෙස හඳුනාගෙන ඇති බව එහිදී ප්‍රකාශ කළ වෛද්‍ය චමෝද් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සඳහා බලපාන ඉහත ප්‍රධාන සංඛ්‍යාලේඛන සහ සාධක සමීක්ෂණ වාර්තාවකින් පසුව අනාවරණය වූ බවයි.

මාර්ග ආරක්ෂාව සහ වගකීම් සහගත රිය පැදවීමේ පිළිවෙත් පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කරමින් විනයගරුක රියදුරන් වර්ධනය කිරීම වෙනුවෙන් පවතී මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවූ අතර ඒ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහාමාර්ග අතිරේක ලේකම් තුෂාර සුරවීර මහතා ද එක්ව සිටියා.

එහිදී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා මාර්ග ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, විශේෂයෙන් උත්සව සමයේදී විනයගරුක රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කරන ලෙසත්, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කර ගැනීමට දායක වන ලෙස සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම රියදුරු පුහුණු වැඩසටහන් හරහා රියදුරු බලපත්‍ර අවශ්‍යතා ප්‍රමිතිගත කිරීමේ අභිප්‍රාය මෙන්ම නව තාක්‍ෂණික සන්නිවේදන මෙවලම් භාවිතයෙන් අවධානය වෙනතකට යොමු කර රිය පැදවීම නිසා සිදුවන අනතුරුවලට විසඳුම් සෙවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන පනතේ රෙගුලාසි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳව හා මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා වත්මන් තත්ත්වයන්ට අනුකූලව නීති රීති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ක්‍රමවත් නීතිමාලාවන් හඳුන්වාදෙන බවද ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහාමාර්ග අතිරේක ලේකම් තුෂාර සුරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This