
වික්ටෝරියා ජලාශයේ වේල්ල අසළ පිටාර මට්ටමේ පවත්වාගෙන ගිය හුණුගල් කොරි ඉවත් කෙරේ
වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමෙන් මීටර් 100ක ප්‍රදේශය තුළ පිහිටා තිබු සියලු හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත යුතු යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ මීටර් 100ක් තුළ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක් හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල මේ වනවිට කැණීම් බලපත්‍ර තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගත් බවයි එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට සඳහන් කළේ.
පසුගිය කාලය තුළ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් සුළු භූ චලන රැසක් වාර්තා වී තිබෙනවා.
මේ සම්බන්ධව අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණා.
එම කමිටුව විසින් වික්ටෝරියා ජලාශයේ හා එහි ආරක්ෂාව සඳහා වහාම ගත යුතු පියවර කිහිපයක් දක්වා තිබෙනවා.
ඒ අනුව එම වාර්තාව මගින් පෙන්වා දී තිබූ පරිදි වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන තත්ත්වයන්ට එම ප්‍රදේශයේ පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු බිඳ වැටීම් හේතුවක් වන බව සඳහන් වී ඇති බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
මෙම ප්‍රදේශයේ හුණුගල් කැණීම් වැඩ පොළවල් කිහිපයක් පැවතී ඇති අතර එම කැණීම් ස්ථාන මගින් සිදු කරන පිපිරවීම් නිසා ඇතිවන කම්පන ද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටීම්වලට හේතුවන බව වාර්තාව පෙන්වා දී තිබෙනවා.
එමනිසා වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමෙන් මීටර් 100ක ප්‍රදේශය තුළ පිහිටා තිබු සියලු හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත යුතු යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් තීරණය කර තිබෙනවා.
භූකම්පන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වුණා.