අතැර දැමූ වැව් 30කට යළි  ජීවය

අතැර දැමූ වැව් 30කට යළි ජීවය

දිගු කලක සිට අත්හැරදමා තිබූ වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 300ක් වැය කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශ ගණනාවක භාවිතයට නොගෙන අත්හැර දමන ලද වැව් රැසක් පවතින බවට ගොවි ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ද අවධානය යොමුව තිබෙන අතර අදාළ කාරණා පිළිබඳව සොයා බැලීමට සමීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔහු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එහි ප්‍රතිපලයක් ලෙස මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක අත්හැර දමන ලද වැව් හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහන මගින් කෘෂිකර්මාන්තයට දායක කර ගත හැකි, අක්කර 20කට වඩා වැඩි කුඹුරු ආශ්‍රිතව තිබෙන අත්හැර දමා ඇති වැව් පමණක් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසර තුළ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල අත්හැර දමන ලද වැව් 30ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

මෙලෙස ප්‍රතිසංස්කරණය කරන වැව් ආශ්‍රිතව සිදුකරන වගාවන්වලදී වී වෙනුවට එළවලු සහ පළතුරු සඳහා මූලිකත්වයක් දෙන ලෙසත් වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට අවධානය යොමු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

Share This