අදත් සභා රැසක සභාපතිවරුන් තෝරාගැනීම ගාල ගෝට්ටි මැද

අදත් සභා රැසක සභාපතිවරුන් තෝරාගැනීම ගාල ගෝට්ටි මැද

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ නගරාධිපතිවරයා තෝරා පත් කරගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම අද පෙරවරුවේ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ඡන්දය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සභාවේ සිටි මන්ත්‍රිවරුන්ගෙන් ලිඛිත මතවිමසීමක් සිදු කළා.

එහිදී විවෘත ඡන්ද විමසීමක් සඳහා ඡන්ද 17ක් ලැබුණු අතර රහස් ඡන්දයක් සඳහා ඡන්ද 19ක් ලැබුණා.

කෙසේ වෙතත් අදාළ ඡන්ද විමසීම අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවීමට කටයුතු කළ අතර එහිදී පැමිණ සිටි සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු 16 දෙනෙකු සභාගර්භයෙන් පිටව ගියා.

කෙසේ වෙතත් ඝන පුර්ණය සම්පුර්ණවිම හේතුවෙන් සභාවේ කටයුතු ඉදිරියට යාමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ අතර එහිදී පැවති රහස් ඡන්දයෙන් ඡන්ද දහනමයක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ සුනිල් ගමගේ මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණා.

එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රියන්ත සහබන්ධු මහතායි.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද උදෑසන පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

කෙසේවෙතත් සභාපතිවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් මහතා ජාතික ජන බලවේගයෙන් සභාපතිධුරය සඳහා යෝජනා කළ අතර සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතාගේ නම යෝජනා වුණා.

ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ, අපේක්ෂකයා ඡන්ද 22ක් හිමිකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණා.

මේ අතර මාතලේ – ලග්ගල ,පල්ලේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණේ සමගි ජන බලවේගයේ
බන්දුල පද්මසිරි මහතායි.

සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්. ජී. ජේ. තුෂාර සම්පත් මහතා තේරී පත්වුණා.

කළුතර ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද උදෑසන පැවති අතර, ඡන්ද 17ක් ලබා ගත් ජාතික ජන බලවේගයේ අරුණ ප්‍රසාද් චන්ද්‍රසේකර මහතා සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.

ගාල්ල , රජ්ගම බලය සමගි ජන බලවේගයට හිමි වූ අතර, සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ දුලාජ් තරංග මහතායි.

මේ අතර, බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අප කළ විමසීමකදී ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කලේ පෞද්ගලික හේතුවක් මත රංජිත් උදය කුමාර මහතා එලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ගමඇතිගේ ආරියදාස මහතාව තෝරා පත් කර ගැණුනා.

 

Share This