අධිකරණය හමුවේ දිගහැරුණු සිරකරුවන් නිදහස් කිරීමේ පැටිකිරිය
නිදහස් දිනයේ අනීතිකව සිරකරුවන් 11 දෙනෙකු මුදා හැරලා

අධිකරණය හමුවේ දිගහැරුණු සිරකරුවන් නිදහස් කිරීමේ පැටිකිරිය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියා.
නඩුව කැඳවූ අවස්ථාවේදී දිලීප පීරිස් මහතා මෙලෙස කරුණු දැක්වූවා.
“ස්වාමීනි, මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු නිදහස් කිරීමේ සිද්ධියටයි.
විමර්ශනවලදී හෙළිව තිබෙනවා එදින එම සිරකරුට අමතරව තවත් සිරකරුවෙකු නිදහස් කර ඇති බව.
ඒ විතරක් නෙමෙයි, තවත් බරපතල කරුණක් අනාවරණ වී තිබෙනවා. ඒ තමයි මේ ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක වී තිබෙනවා කියන කාරණය.
පසුගිය නත්තල් දවසේ නිදහස් කළ සිරකරුවන් 332 දෙනා අතරේ ජනපතිවරයා අනුමත නොකළ හා නියමිත කොන්දේසි සම්පූර්ණ නොකළ සිරකරුවන් 57 දෙනෙකු නිදහස් කරලා තිබෙනවා.
ඊට පස්සෙ එළඹුණු නිදහස් දිනයේ අනීතිකව සිරකරුවන් 11 දෙනෙකු මුදා හැරලා තියෙනවා.
නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයින් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරිවරු තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බවත්, අපට පෙනී ගොස් තිබෙනවා.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වමින් මෙලෙස ද ප්‍රකාශ කළා.
“ස්වාමිනී, මේ සැකකරු මේ රටේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා.
මොහු අත්අඩංගුවට අරන් තියෙන්නේ අනීතිකව සිරකරුවන් නිදහස් කිරීමේ චෝදනාවට.
ඔහු ඔබතුමන්ලගේ අධිකරණ බලයත් අවභාවිතයට ලක් කරලා තිබෙනවා.
ස්වාමිනී, මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බලකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහරදී රිමාන්ඩ් බන්ධනාගාර ගතවුණා.
දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා.
ස්වාමිනි, මේ පුද්ගලයෝ තමන්ගේ ආයතන ඇතුලේ වෙනමම ආධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා.
ඒවායේ ඔවුන් සිංහාසනාරූඪ වෙලා ඔටුනු පැළඳ සිටිනවා.
එවැනි තත්ත්වයක් තමයි බන්ධනාගාරයේ ඇතිවෙලා තියෙන්නේ. ”
මෙහිදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ කවර කොන්දේසියක් යටතේ හෝ සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි.
එහිදී තම සේවාදායකයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළා.
” ස්වාමිනී, ජනාධිපති ලේකම් කාර්යාල නිකුත් කළ චක්‍රලේඛයට අනුවයි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ.
වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට කලින්.
ඒ නම් ලැයිස්තුව එව්වට පස්සේ තවත් පිරිසක් ඒ කාල සීමාවේදීම සමාව ලැබීමට සුදුසුකම් ලබනවා.
එසේ පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම්, අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනවා.
ඒ නම් අර මුලින් ලැයිස්තුවට ඇතුලත් වන්නේ නැහැ.
ස්වාමිනී, වැරදි පුද්ගලයින් නිදහස් කරලා තියෙනවා නම් ඒකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයාත් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි.
මගේ සේවාදායකයා නීතියට පටහැනිව රැඳවියන් මුදාහැරලා නැහැ. ”
ඒ අනුව දෙපාර්ශ්වයෙන්ම මතුවූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ හෙට දින දක්වා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
සිද්ධියට අදාළව ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළා.

Share This