අබ්දුල් රාවුෆ් අස්ගාර් නිසා චීනයට දොස්

අබ්දුල් රාවුෆ් අස්ගාර් නිසා චීනයට දොස්

චීනය යනු පාකිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය ආරක්ෂා කරන පලිහක් බවට ඉන්දියාව චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අබ්දුල් රාවුෆ් අස්ගාර් නම් පුද්ගලයෙකු ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීම සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට ගෙන ආ යෝජනාවක් අවහිර කිරීමට චීනය කටයුතු කිරීම නිසා මෙලෙස චෝදනා කර තිබෙනවා.

අබ්දුල් රාවුෆ් අස්ගාර් යනු කාශ්මීරයේ ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් කණ්ඩායමක් වන ජායිෂ් ඊ මුහම්මද් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියායි.

ඉන්දියාවේ මෙන්ම අමෙරිකානු නීතිය යටතේ ඔහු අසාධු ලේඛන ගත කර තිබෙනවා.

එවන් පසුබිමක් තුළ චීනයේ මෙම ක්‍රියාකලාපය අසතුටුදායක බවයි ඉන්දියාව සඳහන් කරන්නේ.

මොනයම් බාධා පැමිණියද එවැනි ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙන ඒමේ උත්සහය අත්නොහරින බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

ත්‍රස්තවාදයට එරෙහිව හඬ අවදි කරන මොහොතේදී ඊට සහය පල කර සිට හඬ අවදි කිරීමට ලෝක ප්‍රජාව අපොහොසත් වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිතවරිය ද අවධාරණය කර ඇත්තේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් නොතිබිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති පාකිස්ථානයේ ක්‍රියාත්මක ජයිශ් ඊ මුහම්මද් සංවිධානය ඉන්දියාව ඉලක්ක කර ප්‍රහාර කිහිපයක්ම එල්ල කර තිබෙනවා.

1998 වසරේදී ඉන්දීය ගුවන් යානයක් පැහැර ගැනීම, 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම හා 2014 සහ 2016 වසරවලදී ඉන්දීය හමුදා කදවුරක් හා ඉන්දීය ගුවන් හමුදා කදවුරක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර ඒ අතර වනවා.

Share This