අභියෝග හමුවේ නිර්මාණශීලි විසඳුම් සෙවීමට ශිෂ්‍ය නායකයන් කටයුතු කළ යුතුයි

අභියෝග හමුවේ නිර්මාණශීලි විසඳුම් සෙවීමට ශිෂ්‍ය නායකයන් කටයුතු කළ යුතුයි

ගාල්ල, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වුණා.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ එහි කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කළාය. මෙරට ඓතිහාසික වටිනාකමක් සහිත පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේ සිට මෙම නායකත්ව අත්දැකීම ලබා ගනිමින් මෙම කටයුතු සංවිධානය කිරීමට දායකත්වය ලබා දෙන ජනාධිපති ලේකම්වරයා ඇතුළු සියලු පාර්ශ්වයන්ට මහලේකම්වරිය සිය ස්තූතියද පළ කළාය.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නීතියට මෙන්ම අන්‍යයන්ට ගරු කරන, ඔවුන්ට සවන් දෙන නායකයන් බිහි කිරීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව රුකුලක් වනු ඇති බවයි.

අභියෝග හමුවේ වඩාත් නිර්මාණශීලි විසඳුම් සෙවීමට මෙම ශිෂ්‍ය නායකයන් කටයුතු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

මෙහිදී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු විණි. අනතුරුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදු විය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරුන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුසිසුවියන්ට සහතිකපත්‍ර ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) කමල් ආරියසිංහ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය විදුහල්පති දිලිප් කුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියා.

          

Share This