අම්බොක්කාවේ හද සසල කරවන කතාව – ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි

අම්බොක්කාවේ හද සසල කරවන කතාව – ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි

පසුගිය නොවැම්බර් මස 27 රටටම බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකරයේ බොහෝ දෙනකු පස් යට වැළලී ගියේ සියලු රටක් තති ගන්වමින්.

මාතලේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ ජීවිත 7 ක් එලෙස වැළලී ගියේ ගමට ඉහළින් ඇති කඳු පන්තියේ කොටසක් නාය යාම නිසයි.

එම විපතින් දිවි ගලවා ගත් ගම්වාසීන් අදටත් විමතිය පළ කරන්නේ සිය ජීවිතයේ කිසිදා අපේක්ෂා නොකළ ඉරණමක් උරුමවීමේ ශෝකය ද තුරුළු කර ගෙනයි.

මේ වන විට මෙම ගමේ ජීවත්වන පවුල් හැට ගණන්ක් සිය ජීවිතය ගෙවන්නේ කුමක් කළ යුතු ද යන අවිනිශ්චිත බලාපොරොත්ටු සමගයි.

ගමට ඉහළින් ඇති කඳුපන්තිය මේ වනවිට අවදානම් තත්ත්වයක පැවතීම නිසා ඔවුන් සිය ජීවිත කුමන හෝ මොහොතක මෙම කඳු තමන් ගේ ජීවිත මතට කඩාපනී යැයි බියකින් පසුවනවා.

ගම්වාසීන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තමන්ට පදිංචිවීම සඳහා සුදුසු දැයි නිශ්චිත පර්යේෂණයක් කර තහවුරු කරන ලෙසයි.

ආධාර ලබාදීමට වඩා මේ අවස්ථාවේ තමන්ට විශ්වාසයෙන් නැවත ජීවිතය ආරම්භ කිරීමට සුදුසු පර්යේෂණයක් සිදු කර අවදානම් කලාප සල්කුනු කරන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටිනවා.

මීට පෙර නිලධාරීන් නාය යාම් අනතුරු ඇඟවූ කොටසට ප්‍රතිවිරුද්ධ කොටස නාය යාමට ලක් වූ බව ගම්වාසීන් සඳහන් කළා.

පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සමඟ නාය යාමට ලක් වූ කන්ද නිසා මිහිදන් වූ එකම පවුලේ හත්දෙනෙකුට අයත් සුන්බුන් අතර අද දක්නට ඇත්තේ ඔවුන් ගේ වේදනාත්මක මතක පමණයි.

මියගිය අයගේ දේහයන් මිහිදන් කළ ද මේ වනවිටත් එම ප්‍රදේශය පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා.

මේ ස්ථානයට ගිය අපට අසන්නට සිදුවුයේ ඉතා සංවේදී පුවතක්.

එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් ඇති බව ආරංචි වුවත් ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූවස්ථාවේ නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන් සියලුදෙනා ගේ සිරුරු සොයා ගැනීමට සමත් වීම සුරතල් සතුන් පිළිබඳ සංවේදී කතාවක් අපට කියා පානවා.

ගම්වාසීන් පවසන ආකාරයට අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවකට පමණ අයත් පිරිසක් මේ වන විට ජීවත් වන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වලයි.

නායයෑම් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් පවසනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ එහෙත් නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්වෙන ලෙස දැනුම්දීම හේතුවෙන් තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇති බවයි.

එම නිසා පාසල් ආරම්භයට පෙර කඩිනමින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

Share This