අමාත්‍ය විජිත කොළඹ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසේ

අමාත්‍ය විජිත කොළඹ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසේ

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (02) අමාත්‍යාංශයේදී කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික බලකායේ සාමාජිකයින් සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ මෙම සාකච්ඡාවේදී, අමාත්‍ය විජිත හේරත් මහතා මාස 11 කට පෙර බලයට පත්වීමෙන් පසු රජය ලබා ඇති ප්‍රගතිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට පැහැදිලි කළ බවයි.

එහිදී අමාත්‍යවරයා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද ප්‍රධාන පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් අවධාරණය කර තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) ඇතුළු දේශීය සංහිඳියා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර තිබුණා.

අමාත්‍ය හේරත් මහතා එහිදී ඉල්ලා ඇත්තේ රජය විසින් ගෙන ඇති පරිවර්තනීය මාවත සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ අඛණ්ඩ පිළිගැනීම සහ දිරිගැන්වීම ලබාදෙන ලෙස‍යි.

සංහිඳියාව සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ජාතික ක්‍රියාවලීන්ට සහාය වන ලෙස ද අමාත්‍ය විජිත හේරත් එහිදී විදෙස් නිලධාරීන් ගෙන් ඉල්ලා තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජිතයින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Share This