අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ මරණය

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ මරණය

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී වේදනානාශකයක් අධිමාත්‍රාවකින් ශරීරගත වීමෙන් අවුරුද්දක් වයසැති දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

Fentanyl නමැති වේදනානාශකය මෙලෙස අධිමාත්‍රාවක් ලෙස ආශ්වාස වීමෙන් අදාළ සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවන් මාස අටේ සිට අවුරුදු දෙක දක්වා වයස්වල පසුවන්නන් වනවා.

ඔවුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී එම ඖෂධය පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

Fentanyl ඖෂධය හෙරොයින් මත්ද්‍රව්‍යයට වඩා 50 ගුණයක් බලවත් කෘත්‍රිම වේදනා නාශකයක් ලෙසයි සැළකෙන්නේ.

පොලිසිය විසින් අදාළ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී තවත් Fentanyl ඖෂධ තොගයක් සොයාගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

කෙසේවෙතත් අදාළ කාන්තාව විසින් ලබාදුන් ඇමතුම්වලින් පසුව ඇයගේ සැමියා මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ එහි සිට මළු කිහිපයක් රැගෙන යන අයුරු ද CCTV දර්ශනවල සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This