අමෙරිකා – ඊශ්‍රායල කෝන්තරය අවසන්? – ඩොලර් බිලියනයක ආයුධ පැකේජයක් ඊශ්‍රායලයට

අමෙරිකා – ඊශ්‍රායල කෝන්තරය අවසන්? – ඩොලර් බිලියනයක ආයුධ පැකේජයක් ඊශ්‍රායලයට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලය සඳහා ඩොලර් බිලියන 01 ක ආයුධ පැකේජයක් යැවීමට දන්වා ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ රෆා වෙත ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ලැබීමෙන් පසු සමහර ආයුධ අත්හිටුවන බවට දැනුම් දී සතියකට පමණ පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අවි පැකේජය ගැන කොන්ග්‍රසයට අවිධිමත් ලෙස දැනුම් දී ඇති අතර එය අනුමත කිරීමට අවශ්‍ය වන බවයි ඉහළ බලධාරීන් පවසා ඇත්තේ.

යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා ආරක්ෂක සහය සඳහා කොන්ග්‍රසය විසින් මෑතකදී අනුමත කරන ලද ඩොලර් බිලියන 95 ක ප්‍රධාන පැකේජයකින් මෙම ආයුධ නිකුත් කරනු ලබනවා.

රෆාහි සිවිල් වැසියන්ට විනාශකාරී අවදානම් සහිතව ඒවා භාවිතා කරනු ඇතැයි යන බියෙන්, පවුම් 2,000 බෝම්බ ඇතුළු නැව්ගත කිරීමක් පළමුවරට නවතා දැමීමට අමෙරිකාව පසුගිය සතියේ කටයුතු කළා.

ගාසා යුද්ධයේදී සිවිල් වැසියන්ට සිදුවූ ජීවිත හානි ගැන කෝපයට පත් බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ වාම නැඹුරුවක් ඇති සාමාජිකයින් සමග කොන්ග්‍රසය තවමත් ඊශ්‍රායලයට ආයුධ විකිණීම අවහිර කිරීමේ හැකියාව පවතින බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.

එහෙත් විරුද්ධත්වය නොතකා මෙම අවි පැකේජය සම්මත වී ඇති අතර, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය ඒකමතිකව ඊශ්‍රායලයට ආයුධ ලබාදීම සඳහා සහාය පළ කර තිබෙනවා.

ඒ අනුව නිල නොවන ආරංචි මාර්ගවලට අනුව තව නොබෝ දිනකින් ඊශ්‍රායලය වෙත මෙම ඩොලර් බිලියනයක් පමණ වටිනා අවි පැකේජය ලැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This