
අයහපත් කාලගුණය තවදුරටත් වර්ධනයක් (VIDEO)
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමිවී තිබෙනවා.
මේ අතර, දිවයිනට බලපා ඇති අඩුපීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් අද දිනත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබුණා.
ගාල්ල නගරයේ මාර්ග රැසක් අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී තිබු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
ඊයේ රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගිංගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂාවත් සමග පානදුර ගල්තුඩේ ප්‍රදේශයේ නිවසක් අසලට කිඹුල් පැටවුන් පැමිණ සිටීමේ සිද්ධියක් වාර්තා වුණා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය, අංගමුව, කලාවැව, දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය සදහන් කලේ පවතින වර්ෂාව නිසා ජල පහරට හසුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි.
එමෙන්ම දිස්ත්‍රික්ක 05ක පවුල් 187ක, පුද්ගලයින් 747 ක් මේවනවිට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව තිබෙනවා.
මේ අතර අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
මේ අතර පවතින කාලගුණ තත්ත්වය හමුවේ නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.