
අයාලේ යන සුනඛයින් සහ කැලි කසල නිසා බෙන්තර වෙරළ තීරය සංචාරක මරු කපොල්ලක් (VIDEO)
අයාලේබ යන සුනඛයන්ගේ වැඩිවීමත් බෙන්තර වෙරළට කසල බැහැර කිරීමත් නිසා විදෙස් සංචාරකයින් සහ මෙරට සංචාරකයින් දැඩි අපහසුතාවයට
මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් තවත් සුන්දර වෙරළ තීරයක් වන බෙන්තර වෙරළ තීරයට පැමිණෙන විදෙස් සංචාරකයින් මේ වන විට බරපතල ගැටලු රාශියකට මුහුණ දී තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුවක් ලෙස එම ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් පෙන්වා දෙන ආකාරයට මෙම වෙරළ තීරයේ අධික ලෙස අයාලේ යන සුනඛයන්ගේ වැඩිවීමත්, බෙන්තර වෙරළ තීරය කිසිදු බලධාරීයකුගේ අවධානයට ලක්නොවී කසල වලින් පිරී යාමත් නිසයි.
බෙන්තර වෙරළ තීරයේ සුනඛ ගහනය බරපතල ලෙස ඉහළ ගොස් ඇත.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පවසන්නේ මේ නිසා එම සුනඛයින් වෙරළේ උදේ හවා සංචාරය කරන සංචාරකයින් සපාකෑමට මෙන්ම සංචාරකයින් බහුල වශයෙන් වෙරළේ සුන්දරත්වය විඳින ස්ථානවල සුනඛයින් ගැවසීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
අවස්ථා කිහිපයකදීම මෙම සුනඛයින් සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින්ද සපා කෑම නිසා බෙන්තර වෙරළ තීරයේ රැකියාව කරන සංචාරක මඟ පෙන්වන්නන් බෙන්තර සංචාරක කලාපයේම පිහිටි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කාර්යාලයේ නිලධාරීන්ට සහ බෙන්තර ප්‍රාදේශීය සභාවටද දැනුම් දී තිබෙනවා.
ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ ඒ පිළිබඳව දැනුම් දුන්නද ඔවුන් එම ගැටලුව විසඳීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවයි.
එමෙන්ම බෙන්තර වෙරළ තීරය අවට පිහිටි සංචාරක හෝටල් වලින් අවිදිමත් ලෙස කසල බැහැර කර තිබෙන ආකාරය ද ගැටලු සහගත බව ප්‍රදේශවාසීන් පවසනවා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙරළට එකතු වන කැලි කසල බෙන්තර ප්‍රාදේශීය සභාවෙන් නිසි පරිදි රැගෙන නොයාම මෙම ගැටලුව උත්සන්න වීමට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
වෙරළ තීරයේ පිහිටි ගස් යට පවා කසල විශාල ලෙස එක් රැස්වී වී ඇති ආකාරය දැකගත හැකියි.