අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රසායන ද්‍රව්‍ය කන්ටේනර් වරාය රේගුවෙන් පැන්නූ අය පිටුපස පොලීසිය පන්නයි

අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රසායන ද්‍රව්‍ය කන්ටේනර් වරාය රේගුවෙන් පැන්නූ අය පිටුපස පොලීසිය පන්නයි

මිද්දෙණියෙන් හමුවූ ආකාරයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පාලු ඉඩමක දමා තිබියදී සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට ඊයේ හැකිවුණා.

විමර්ශවලදී හෙළිව තිබෙන්නේ අදාළ රසායනික ද්‍රව්‍ය තොග සහිත කන්ටේනර් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මුදාහැර ඇති බවයි.

අදාළ රසායනික ද්‍රව්‍ය තම මවට අයත් ඉඩමෙහි වලා දමා තිබීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි පියල් මනම්පේරි නැමැත්තාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර ලබාදුන්නා.

මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ පද්මේගෙන් සහ බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මිද්දේණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය නිලධාරීන්ට හැකිවුණා.

තවදුරටත් එම ඉඩම පරීක්ෂා කළ විමර්ශන නිලධාරීන්ට එම ඉඩමෙහි වෙනත් ස්ථානයක වළ දමා තිබූ ජීව අත්බෝම්බ, ජීව උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමටයි හැකිවුණේ.

සිද්ධිය සම්බද්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරුගේ පුත්‍රයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වූ පියල් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගැනීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කළේ.

ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරි නැමැත්තාගේ සහෝදරයෙකු වූ මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන යටතේ තරග කළ සම්පත් මනම්පේරි නැමැත්තාට ද චෝදනා එල්ල වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක අතර, ඔවුන්ගේ මවට අයත් මිද්දෙනිය තලාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ඊයේ පරීක්ෂාවට ලක් කළා.

මේ අතර එම ස්ථානයට අමතරව තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වල දමා තිබියදී ඊයේ සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවුණා.

කෙහෙල්බද්දර පද්මේගේ මූලිකත්වයෙන් මෙරටට ගෙන්වා ඇති බව කියන මිද්දෙණිය ප්‍රදේශයේ වල දමා ඇති රසායනික ද්‍රව්‍ය යොදාගෙන නුවරඑළිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවෙහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

ඊට මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුමක් ඇති පාකිස්ථාන ජාතිකයෙකුගේ සහය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව අදාළ රසායනික ද්‍රව්‍ය සහිත බහළුම් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 07 වැනිදා ඉරානයේ සිට මෙරටට යොමු කර ඇති බවත් එම බහළුම් ජනවාරි මස 25 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් නිදහස් කර ඇති බවත් වාර්තා වනවා.

ඊට අදාළ ලියකියවිලිවල කිහිපයක බව පැවසෙන ඡායා පිටපත් මෙන්ම තවත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත ලැබී තිබුණා.

අදාළ ඡායාරූප සම්බන්ධයෙන් අප රේගු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කලේ මේ කන්ටේනර් පිටවීම පිළිබඳව අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බවයි.

ඊට අමතරව අප අදාළ ඡායාරූප සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ. වුඩ්ලර් මහතාගෙන් ද විමසා සිටි අතර, එහිදී ඔහු ඒවා දෙසැම්බර් 25 වැනිදා වරායෙන් පිටවී ඇති බව තහවුරු කළා.

ඔහු පැවසුවේ අදාළ කන්ටේනර් මෙලෙස රේගු නිලධාරීන් විසින් පිටතට ගෙන යාමට අවසර දීම පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

 

 

 

Share This