අයි.එම්.එෆ්. වාරිකය ලැබුණ හේතුව කියන විපක්ෂ නායක

අයි.එම්.එෆ්. වාරිකය ලැබුණ හේතුව කියන විපක්ෂ නායක

සිව්වැනි වාරිකය දෙන බවට රජය කියන බවත් , එයට හේතුව තෙල් මිල සහ විදුලි බිල වැඩි කළ නිසා බවත්, ඒවා අයි.එම්.එෆ් කොන්දේසි බවත්, වත්මන් ආණ්ඩුවේ දේශප්‍රේමීන් තම ප්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ මේ රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මිහින්තලේ ප්‍රදේශයේ ඡන්ද පොළ 120ක සංවිධායකවරුන් සඳහා පත්වීම් ලබාදීම වෙනුවෙන් එප්පාවල දී පැවැති ජන හමුවක් අමතමින්.

අපේ රට එන්න එන්නම බරපතල අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පවතින අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමක් ලබාගන්නවා යැයි පැවසූ නමුත් ජනාධිපති වූ විගස මේ ගිවිසුම වෙනස් කළ නොහැකි බවට පවසන බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කළා.

ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඇති කර ගත් ගිවිසුම ඉදිරියට ගෙන යමින් සිටින බවයි.

විදුලි බිල 33%කින් අඩු කිරීම, තෙල් මිල අඩු කරන බවට පොරොන්දු දීම, වරායේ ගොඩබාන ගානට රටේ ජනතාවට තෙල් දෙනවා ‍යැයි පැවසුවද අද එය නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

අඩු කරනවා කියූ තෙල් මිල, විදුලි බිල ආදී සියල්ල වැඩි කළ බවත්, මොවුන් ජනතාවට වුණ පොරොන්දු සියල්ල කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

Share This