අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 16 දක්වා යළි රිමාන්ඩ්

අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 16 දක්වා යළි රිමාන්ඩ්

ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති දෙසැම්බර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (1) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබූවේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ‍කටයුතු කරනු ලැබු අයිනියපිල්ලේ මුබාරක් (50)යන අයයි.

මෙම සිද්ධියට අදාල දෙවන සැකකරු වන ඔහුගේ පෞද්ගලික රියැදුරු ලෙස කටයුතු කළ එම්. එම්. ඉර්ෂාද් (34) යන අය මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල කර තිබුණේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට සඳහන් කර සිටියේ.

සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20 ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

පසුව එම ඉඩමේ ඉතිරි කොටස සඳහා බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ පහක මුදල ඉල්ලා ලබාගනිද්දි ඉකුත් දා (31) මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,මෙම සැකකරු විසින් ඔහුගේ ප්‍රාදේශීය සභාවට අයත් ලිපි ලේඛන විමර්ශන කටයුතු සඳහා ලබාගැනීමට නොහැකි වන ලෙස බලහත්කාරයෙන් තබාගෙන සිටින බවයි.

තවද මෙම සැකකරු ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ තිබූ ලිපි ලේඛන විනාශ කිරීම සඳහා එහි අගුළු කැඩීමට රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැනුම් දුන්නා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් කුච්චවේලි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

සැකකරු ඇප මත මුදා හැරීමෙන් සාක්ෂි වලට බලපෑම් කළ හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේ සුදුසු ඇපයක් මත තම සේවා දායකයා මුදා හරින ලෙසයි.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙලෙස සඳහන් කළා.

” දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පසු සිද්ධියට අදාල දෙවන සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඇප දීමට නොහැකි තරම් සුවිශේෂි කරුණු නොවන බැවින් දෙවන සැකකරු ඇප මත මුදා හරිනවා. සිද්ධියට අදාල පළමුවන සැකකරුගේ පවුලේ ඥාතීන්ට රෝගී තත්ත්වයක් තිබූ පමණින් එය සැකකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණක් වන්නේ නැහැ. තවද මෙම පළමුවැනි සැකකරු ප්‍රාදේශීය සභාවේ තිබෙන සාක්ෂි වලට බලපෑම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කළා. ඒ අනුව එම කරුණු සලකා බලා පළමුවැනි සැකකරු වන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති තවදුරටත් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කරන බව පවසමින් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනිය පිල්ලේ මුබාරක් නමැති අය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණා.

Share This