
අලි රොෂාන් ගේ ඇප ඉලීම සලකා බැලීම දෙසැම්බර් මස 15 වැනි දා
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වි සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වැනි දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම ඉල්ලීම අද (03) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම ඇප ඉල්ලීමට අදාල විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව ව්නිසුරු මඩුල්ල නියම කළේ නඩුවට අදාල විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වැනිදා ගොනු කරන ලෙසයි.
ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වැනිදා සිදු කිරීමට දින නියම කළා.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නැමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළා.
එම සිර දඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇපමත මුදා හරින ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
