අලුත් අවුරුදු උදාව අද අපර භාග 9.05ට (VIDEO)
සිංහල දමිළ අලුත් අවුරුදු උදාව අද(13) අපර භාග 9.05ට යෙදී තිබෙනවා.
ඒ අනුව අදාළ නැකැත් පහතින්,
අලුත් අවුරුදු උදාව – අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වනවා.
පුණ්‍ය කාලය – අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 2.41 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 2.41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්; අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කළ යුතුයි.
ආහාර පිසීම – අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 11.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය – අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට එනම් අප්‍රේල් 14 වැනි ඉරිදාට එළිවන පාන්දර 00.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම – අප්‍රේල් මස 15 වැනි සඳුදා දින උදේ 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම – අප්‍රේල් මස 17 වැනි බදාදා උදේ 06.52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.