අසත්‍ය ප්‍රචාර නිසා රාත්‍රියේ සිදුකරන බරවා පරීක්ෂණවලට බාධා (VIDEO)

අසත්‍ය ප්‍රචාර නිසා රාත්‍රියේ සිදුකරන බරවා පරීක්ෂණවලට බාධා (VIDEO)

ඇතැම් පිරිස් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ වල රාත්‍රි කාලයේදී සිදු කෙරෙන බරවා රුධිර පරික්ෂාවන්ට බධා මතුව ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසනවා.

මේ අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් සිදු කළ සමීක්ෂණයකදී මෙරට වැඩිම ඩෙංගු ව්‍යාප්ති අවදානම් පරිශ්‍ර ලෙස පාසල් පද්ධතිය හඳුනාගෙන ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කර ඇති දත්ත අනුව මේ වසරේ මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 41324 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් ඩෙංගු මරණ 22 ක් ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක් මේ වන විට ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්ක අතරට කොළඹ ගම්පහ කළුතර මහනුවර යාපනය ගාල්ල මාතර මඩකලපුව කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක අයත්.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 22 කම මදුරු ඝණත්වයේ වර්ධනයක් ද දක්නට ලැබෙන බවටයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී ඇත්තේ.

ඩෙංගු මර්දන ඒකකය විසින් සිදු කළ ඩෙංගු මදුරු ව්‍යාප්ති අවදානම් පරිශ්‍ර පිළිබඳ සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙරට වැඩිම ඩෙංගු මදුරු ව්‍යාප්ති අවදානමක් ඇති පරිශ්‍ර ලෙස පාසල් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර ඇතැම් පිරිස් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ වල රාත්‍රි කාලයේදී සිදු කෙරෙන බරවා රුධිර පරික්ෂාවන්ට බාධා මතුව ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසනවා.

Share This