අසල්වැසියාට පාට් දැමූ උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

අසල්වැසියාට පාට් දැමූ උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය අද (10) කටයුතු කළා.

ඒ නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පිහිටි ඔහුගේ නිවසේදී අසල්වැසියෙකුට පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාවකටයි.

උදයංග වීරතුංග සහ ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමැත්තා අතර ඊයේ (09) ගැටුමක් හටගෙන තිබුණේ නිවාස දෙක අතර පැවති තාප්පයක ගැටලුවක් මුල් කරගනිමින්.

අසල්වැසි නිවසේ සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමැත්තා එහිදී පවසා ඇත්තේ තම නිවසේ මායිම් බිත්තිය, උදයංග වීරතුංග විසින් කඩා දමා ඇති බවයි.

මෙහිදී ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එම මොහොතේ උදයංග වීරතුංග මහතා ප්ලාස්ටික් බටයකින් අසල්වැසියාට පහර දී තිබෙනවා.

අසල්වැසි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමැත්තාට පහර එල්ල කිරීමේදී ඔහුගේ මුහුණට තුවාල සිදුවී ඇති අතර අනතුරුව ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

සිද්ධියෙන් අනතුරුව උදයංග වීරතුංග මහතා විසින්ද මේ පිළිබඳව මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබූ අතර පසුව අසල්වැසි නිවසේ ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමැත්තාගේ බිරිඳ ද මේ සම්බන්ධයෙන් එම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී මිරිහාන පොලීසිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමැත්තාගේ කටඋත්තරය අද (10) පෙරවරුවේ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදයංග වීරතුංග මහතාව අද දිනයේද පොලීසියට කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය කටයුතු කළ අතර ඔහුව අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී නියෝග කර ඇත්තේ උදයංග වීරතුංග මහතාව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.

Share This