අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වනදා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දෙනවා.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම්පත් 450,924ක් ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලබා ඇති 1854,000කට රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කර තිබෙනවා.

එම පළමු අදියරට අයදුම් කිරීමට නොහැකි වූ හෝ මගහැරුණු පිරිසට නැවත අයදුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබාදී ඇති අතර සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන බව සඳහන්.

අදාළ දීමනා ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි ලබාදෙනු ඇති.

මේ අතර ක්ෂේත්‍ර තොරතුරු එක් රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම් ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් ( Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජංගම යෙදුම් මෘදුකාංගය මඟින් තොරතුරු එක් රැස් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Share This