
අසූ එක් වියට පිවිසෙන මහා සඝ නා හිමි සඳ …
මින් දශක අටකටත් එපිට කාල සීමාවකදී වර්ෂ 1944 මැයි මස 30 දින මාතලේ දිස්ත්‍රික්කයේ කොහොත්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ග්‍රාමයේදී මෙලොව එළිය දුටු අප කතානායකයන් වහන්සේගේ ආදරණීය පියාණන් වූයේ තිබ්බටුවාවලවේ බණ්ඩාරනායක වාසල මුදලි ටිකිරි බණ්ඩාර නිලමේ වරයායි.
කරළියක්ද වලව්වේ ලොකු කුමාරිහාමේ ආදරණීය මෑණියන් වහන්සේ විය.
පවුලේ බාලයා වූ අප කතා නායකයන් වහන්සේ ගිහිකල ලොකු බණ්ඩාර නම් විය්.
වේරම්පිටිය කනිෂ්ට විද්‍යාලයට ඇතුළත්ව ප්‍රාථමික අධ්‍යාපනය හදාරා වයස 13 එළබෙත්ම 1957 මැයි මස 10 දින පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ රිදී විහාරයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර හිමි උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වුණා.
අනතුරුව මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපන කටයුතු සඳහා සිංහල පාලි සංස්කෘතික ඇතුළු විෂයන් හැදෑරූ අතර අමුණුගම ශ්‍රී රාජගුරු විපස්සි මහා නායක හිමි, විමලකීර්ති සුමන නායක හිමි, සිරිමල්වත්තේ ආනන්ධාභිධාන මහ නායක හිමි, සහමුනේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර අනු නායක හිමි, රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගලාභීදාන නායක හිමි, රත්කින්දේ අනෝමදස්සි නාහිමි යන වියත් හිමිවරුන් යටතේ උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ඥානය ලබාගත්තා.
වර්ෂ 1964 දී අමුණුගම ශ්‍රී රාජගුරු විපස්සී මහා නායක හිමි යටතේ වාහල නාග උපසම්පදාවට පිවිසෙන ලදී.
අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ තේවාව උදෙසා සම්බන්ධ වීමට 1965 වසරේදී උන්වහන්සේ භාග්‍යවන්ත වුණා.
උන්වහන්සේ 24 හැවිරිදි වියේදී මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභිකයකු ලෙස මල්වතු විහාර පාර්ශවීය මහා නායක අමුණුගම රාජගුරු විපස්සි මහානායක හිමියන් විසින් පත්කරන ලදී.
අනතුරුව 1979 මැයි මස උප ලේඛකාධිකාරී ධූරයටත් 1985 වසරේදී ලේඛකාධිකාරී ධූරයටත් පත්වීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්තවිය.
අප මහා නාහිමි වර්ෂ 1990 දී රඹුක්කැල්ලේ ශ්‍රී ධර්මරක්ඛිත විපස්සී මහානායක හිමියන් විසින් ජ්‍යෙෂ්ඨතම කාරක සංඝ සභික ධූරයට පත් කළ අතර වර්ෂ 1992 වර්ෂයේදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියත් 2004 ජූනි මස සිට ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ විසි හය වෙනි මහානායක ධූරයට පත් වූ අතර මෙතෙක් දශක දෙකකටත් එහා ගිය කාල සීමාවක් තුළ ශ්‍රී ලාංකේය භික්‍ෂු වංශයට නායකත්වය ලබාදෙමින් දළදා හිමිගේ නිල උරුමක්කරු ලෙස උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ සුරැකීමෙන් ඉටු කරනු ලබන්නා වූ සේවාව අති අතිමහත්ය.
විශේෂයෙන්ම රිදී විහාරයේ විහාරාධිපතිධුරය දරමින් ඒ උදෙසා ඉටුකර ඇති සේවාවද සුවිශාලය.
උන්වහන්සේ සතු උජුපටිපන්න, සාමීචිපටිපන්න ගුණාංගය කා අතරත් නිතර කතාබහට ලක්වෙන කාරණාවකි.
ථෙරවාද සංඝ පරපුරටම උන්වහන්සේ මහා වෘක්ෂයකි.
නොයෙක් වූ සාමාජීය පරිණාමයන් යටතේ නොසැලී කටයුතු කරමින් මෙරට පමණක් නොව විශ්වීයව උන්වහන්සේ ලබාදෙන නායකත්වය පැසසිය යුතුයි.
ශාසනික වශයෙන් පමණක් නොව සමාජයීයවද ජන හිතසුව පිණිස අප මහා නාහිමියන් ඉටු මහසඝ පරපුරක තේජවන්ත බව ජාතියටම උරුම කරමින්.
එවන් වූ අසීමාන්තික සේවාවන් ඉටු කරමින් සිය දිවියේ 81 එක්වෙනි ජන්ම දිනය සමරන මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරන්දර අති පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභීධාන මහානායක නාහිමි පාණන්වහන්සේට තවත් චිරාත් කාල සීමාවක් උතුම් වූ සම්බුද්ධ ශාසනයට සහ මෙසිරිලකට මහ මෙහෙවරක් සිදුකිරීමට ආයුරා රෝග්‍ය සම්පත් උදාවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. චිරන් ජයතු…! මහා නා හිමියනි.
තරංග වික්‍රමාදර
ආගමික අංශ ප්‍රධානී ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය