ආක්‍රමණයකින් රුසියාව අර්බුදයක – මොස්කව් හි ආරක්ෂාව තර කරයි

ආක්‍රමණයකින් රුසියාව අර්බුදයක – මොස්කව් හි ආරක්ෂාව තර කරයි

රුසියාවේ මොස්කව් අගනුවර ආරක්ෂාව තරකර තිබෙනවා.

එරට වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස මොස්කව් හි ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය කඳවුරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් ඝාතනය කර ඇති බවට වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා කළ ද අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ක්‍රෙම්ලීනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වැග්නර් කුලී හේවා කණ්ඩායම සන්නද්ධ කැරැල්ලක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

රුසියාවේ හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා තම කණ්ඩායම සියලුම ආකාරයේ ක්‍රියාමාර්ග සඳහා එළඹීමට තීරණය කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව “සන්නද්ධ කැරැල්ලක්” බවට ක්‍රෙම්ලිනය චෝදනා කිරීමෙන් පැය කිහිපයකට පසු වැග්නර් සටන්කාමීන් යුක්‍රේනයේ සිට රුසියාවට දේශසීමාව හරහා ආක්‍රමණශීලී ලෙස ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියානු ජනාධිපති Vladimir Putin විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

Share This