ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 4ක් සඳහා ධීවර අමාත්‍යාංශයෙන් නව නීති රෙගුලාසි

ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 4ක් සඳහා ධීවර අමාත්‍යාංශයෙන් නව නීති රෙගුලාසි

පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ 4 ක් සඳහා දැඩි නීති පැනවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම නව නීති රෙගුලාසි යටතේ, පහත සඳහන් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ මෙරටට ආනයනය, අභිජනනය, විකිණීම හෝ සන්තකයේ තබා ගැනීම සපුරා තහනම් වනු ඇති.
1. පිරානා (Piranha) – Pygocentrus spp
2. නයිෆ් ෆිෂ් (Knife fish) – Chitala spp
3. ඇලිගේටර් ගාර් (Alligator gar) – Atractosteus spatula
4. රෙඩ් ලයින් ස්නේක්හෙඩ් (Red line snake head) – Channa micropeltes

මෙම නව නියෝග යටතේ, ඉහත සඳහන් මත්ස්‍ය විශේෂවලට අදාළව පහත ක්‍රියාකාරකම් සපුරා තහනම් වනු ඇත:
* ආනයනය කිරීම හෝ අපනයනය කිරීම
* සන්තකයේ තබා ගැනීම
* අභිජනනය කිරීම (බෝ කිරීම)
* ප්‍රවාහනය කිරීම
* විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම
* ඕනෑම ජලාශයකට හෝ දිය පහරකට මුදා හැරීම

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති, කිත්සිරි ධර්මප්‍රිය මහතා සඳහන් කළේ මෙරට ජලජ පරිසරයේ සමතුලිතතාවයට දැඩි තර්ජනයක් වන මෙම ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ පාලනය කිරීම සඳහා නීතිමය පියවර ගන්නා ලෙස පරිසරවේදීන්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ නියුතු වගකිවයුතු නිෂ්පාදකයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබුණු බවයි.

සියලු පාර්ශ්ව සමග සිදුකළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, 1996 පනත යටතේ මෙම විශේෂ නියෝග සකස් කිරීමට තීරණය කර තිබෙනවා.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද වහාම මෙම නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ද ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවා.

 

 

Share This